ලේන හතු අනෙකුත් බිම්මල් මෙන් පොළොවේ හට නොගන්නා අතර, දිරාගිය දැව කඳන් උපස්ථරය කොටගෙන වර්ධනය වේ. ඉතා රසවත් මෙන්ම ගුණදායක, වස විස නැති ලේන හතු සාමාන්‍ය බිම්මල් මෙන් නාගරිකව ජනප්‍රිය නොවුවද අදටත් ගම්බද ජනතාව ඉතා කැමැත්තෙන් රස බලන ආහාරයකි. ලේන හතු පිපෙන්නේ වසරේ එක්තරා කාලයක වීම නිසාත් එහි වර්ධනයට දිරායන දැව කඳන් අවශ්‍යවන නිසාත් ලේන හතු සොයා ගැනීම තරමක් අසීරු විය හැක.
ලේන හතු මාලූව, බැදුම මෙන්ම ලේන හතු පොල් මැල්ලූමද ද ගැමි ජනතාව අතර ප්‍රචලිතය. ඒ අතුරින් ලේන හතු බැදුම විශේෂ ය.
අවශ්‍ය ද්‍රව්‍ය
ලේන හතු ග්‍රෑම් 100ක්
කුඩා බොම්බයි ලූනු ගෙඩියක්
අමු මිරිස් කරල් 2ක්
කෑලි මිරිස් තේ හැඳි 1 ක්
තුනපහ තේ හැඳි භාගයක්
මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 1/2ක්
කුඩා කරපිංචා ඉත්තක්
රම්පෙ කැබැල්ලක්
පොඩි කුරුඳු කැබැල්ලක්
පිරිසිදු පොල්තෙල්
ලූණු අවශ්‍ය පමණ
බටර් -දොඩම් සෝස් සඳහා
බටර් තේ හැන්දක්
දොඩම් යුෂ මේස හැඳි 2ක්
හොඳින් අඹරා ගත් සුදු ලූනු තේ හැඳි 1/2ක්
හොඳින් අඹරාගත් ඉඟුරු තේ හැඳි 1/4ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4ක්
සාදාගන්නා ආකාරය
මුලින්ම පිරිසිදු වතුරෙන් ලේන හතු හොඳින් සෝදා ගන්න. ඉන් පසු උණුසුම් වතුර භාජනයකට ලේන හතු දමා පැය භාගයක් පමණ පෙෙඟන්නට හරින්න. (ලේන හතු ඉතා තද බවකින් යුක්ත නිසා ඒවා මෙලෙක් කිරීමට මෙසේ උණු වතුරේ පොඟවා ගනු ලැබේ ) මෙයට ලූණු ස්වල්පයක් එක්කර ගන්න. පොඟවා ගත් ලේන හතු වතුර ඉවත්වන සේ හොඳින් මිරිකා ගන්න. ලේන හතු කැබලිවලට කැඩී නොයන සේ මිරිකා ගත යුතුය. තවදුරටත් ලේන හතුවල ඇති වතුර ඉවත්වන සේ පිරිසිදු රෙදි කඩක් මත අතුරා පසෙකින් තබන්න. වතුර ඉවත් වූ පසු, ලේන හතුවල තද ගතිය තවදුරටත් අඩු කර මෘදු කර ගැනීමට ඒවා මිරිස් ගලක් මත තබා තලා ගන්න.
ලේන හතු බැදුම සැකසීමේදී මුලින්ම බටර් දොඩම් සෝස් එක සාදා ගත යුතුය. ඒ සඳහා භාජනයකට හොඳින් මෙලෙක් වූ බටර් දමා එයට දොඩම් යුෂ, ඉඟුරු සුදු ලූනු පේස්ට් එක සහ ගම්මිරිස් එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න. තලා ගත් ලේන හතු සියල්ල මෙම සෝස් එකට දමා එම අමුද්‍රව්‍ය උරා ගැනීමට (මැරිනේඩ් වීමට ) විනාඩි 10 ක් පමණ තිබෙන්නට හරින්න.
බොම්බයි ලූනු ගෙඩිය සිහින්ව කපා ගන්න. තරමක කැබලි සිටින සේ තක්කාලි සහ අමු මිරිස් ද කපා ගන්න.
තාච්චියකට පොල්තෙල් දමා රත්වන්නට හරින්න.
එම තෙලට සිහින්ව කපාගත් ලූනු එක්කරන්න. එය රත් වූ තෙල් සමඟ හොඳින් කලවම් කර එයටම රම්පෙ, කරපිංචා, කුරුඳු, තක්කාලි සහ අමු මිරිස් එක්කර හොඳින් කලවම් කරන්න. විනාඩියක් පමණ එසේ බැදගත් පසු බටර් දොඩම් සෝස් සමඟ මැරිනේඞ් වීමට තැබූ ලේන හතු එක්කර හොඳින් කලවම් කරගන්න. මෙසේ විනාඩි 2ක් පමණ බැදගත් පසු තාච්චිය වසා විනාඩියක් පමණ ඉදෙන්නට හරින්න.
ඉන් පසු නැවතත් පියන ඉවත් කර රස පමණට ලූණු එක්කර ගන්න. ලේන හතු පෙඟවීමේදී ලූණු එක්කළ නිසාත් සමහර බටර් වර්ග ලූණු ගතියකින් යුක්ත නිසාත් ලූණු එක්කිරීමේදී සැලකිලිමත් වන්න. ඉන් පසු කෑලි මිරිස් සහ තුන පහ ද එක්කර කලවම් කරගන්න.
විනාඩියකට පසුව නැවතත් මිශ්‍රණය හැන්දකින් සීරුවට ඒ මේ අත පෙරලන්න. විනාඩියකට වරක් පමණ හැන්දකින් මිශ්‍රණය පෙරළමින් තවත් විනාඩි 5-6ක් පමණ බැදෙන්නට හරින්න.
ලේන හතු කැබැල්ලක් පිටතට ගෙන එය ආහාරයට ගත හැකි පමණට මෘදුවී ඇත්නම් මිශ්‍රණය ලිපෙන් බා ගත හැක( ලේන හතු හොඳින් බැදුණු පසුවද තරමක් තද ගතියකින් යුක්ත ය ) ලේන හතු බැදුම ඉතා සුවඳකින් යුක්ත වේ. එනිසා එය රස බලන තෙක් නිවසේ කාටත් ඉවසුමක් නැතිවේවි.
රස රහස
මෙම ලේන හතු බැදුමේ රස රහස නම් බටර් දොඩම් සෝස් එක සහ එම සෝස් එකේ ලේන හතු මැරිනේඩ් කිරීමයි. බටර්, දොඩම්, ඉඟුරු සහ සුදු ලූනු යන අමුද්‍රව්‍ය සියල්ලෙන්ම ලේන හතු බැදුමට ලැබෙන්නේ ඉමිහිරි රසයකි. තවද, විනාඩි 5ක්-10ක් පමණ ලේන හතුවලට සෝස් එක උරා ගැනීමට ඉඩ හැරීමෙන් ලේන හතු රස තවත් වැඩිවේ. බැදුමට තුනපහ එක්කිරීමත් රස රහසකි.
උපුටා ගැනීම- සිළුමිණ රසඳුන