ක්‍රිෂාන්ත කුරේ විසිනි
රටට මුහුණ දීමට සිදුවන සියලු ප්‍රශ්න සඳහා කෝකටත් තෛලයක් ලෙස 1978 දී ජේ. ආර්. ජයවර්ධන විසින් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදෙන ලදී. නමුත් 1991 වන විට මෙම විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණයට දරදිය ඇද්ද ජේ. ආර්ගේ දේශපාලන සගයින් දෙදෙනා වන ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි විධායක ජනාධිපති ක්රමයේ ඇති භයානකකම අවබෝධ කරගෙන සිටියහ.
ලලිත්ගේ සහ ගාමිණීගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීමේ මූලික පරමාර්ථය වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහි විපක්ෂ බලවේගයක් නිර්මාණය කිරීම පමණක්ම නොව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් වන ජාතික ජාතික ව්‍යාපාරයක් ද ඇරඹීමයි.
ඉන්පසු බලයට පත්වූ චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, සහ මෛත්‍රිපාල සිරිසේන යන සැම ජනාධිපතිවරයෙකුම තම මැතිවරණ වේදිකාවල විධායක ජනාධිපතික්රමය අහෝසි කරන බවට පොරොන්දු දුන්නෝය. සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපතික්රමය අහෝසි කිරීමට මෙම කිසිවෙකුත් අසමත් වූ නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සහ මෛත්‍රිපාල සිරිසේනගේ පාලන සමයේ දී විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල සීමා කිරීමට යම් සංශෝධන ගෙන එන ලදී. 17 වන සංශෝධනය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නමුදු 19 වන සංශෝධනය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෛත්‍රිපාල සිරිසේනගේ පාලන සමයේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයකට නොගියද, සිය අසීමිත බලතල කප්පාදු කිරීමට ඉදිරිපත් වූ පළමු ජනාධිපතිවරයා බවට මෛත්‍රීපාල සිරිසේන පත්වන්නේය.
18 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල තවදුරටත් ශක්තිමත් කරන ලදී. විධායක ක්‍රමය හා සම්බන්ධ ප්‍රධානම ප්රජාතන්ත්රවාදී ලක්ෂණය වූ සීමිත ධුර කාලය 18 වන සංශෝධනයෙන් ඕනෑම වාර ගණනක් ජනාධිපති වීමට හැකි පරිදි ප්‍රතිපාදන සලසා දෙන ලදී. එම කෙටුම්පතේ අරමුණ වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හට තුන්වන වරටත් ජනාධිපතිවරයා වීමට ඉඩ සලසා දීමයි. ව්‍යවස්ථාදායකයේ මෙම කොටසම 2015 ඔහුගේ පරාජයට හේතු විය. ජනපතිවරයා රජෙකු බවට පත්වීම බොහෝ දෙනෙකු අනුමත නොකළ හෙයින් ඔවුන් ප්‍රතිවිරුද්ධ බලවේගය වටා එක් රොක් වන්නට විය.
ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා වඩා හොඳ රාජ්‍ය පාලනයක් ගෙනයාම සඳහා විධායක ජනාධිපති ක්‍රමය ගෙන එන ලද බව පැවසේ. නමුත් එයින් සිදු වූයේ අහිතක් මිස යහපතක් නොවේ. 1982 ජනමත විචාරණය සහ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම වැනි ප්රජාතන්ත්රවාදයට පටහැනි ක්‍රියාවන් බොහෝමයකට මෙය පාදක විය.
ස්ථාවර, සාමකාමී සහ සෞභාග්‍යයෙන් පිරි රටක් විධායක ජනාධිපති ක්රමයේ අරමුණ විය. නමුත් වසර 43ක කාලය පුරා මෙම ක්‍රමය රටේ අස්ථාවරභාවය සඳහා ඉවහල් විය. රටේ යුද්ධයක් පැවතුණද, නොපැවතුණද, අසීමිත බලයෙන් ඔද්දල් වූ ජනාධිපතිවරු රටේ දැවෙන ප්‍රශ්න ගින්නට පිදුරු දාන්නාක් මෙන් වැඩි කිරීමත් නව අර්බුද නිර්මාණය කිරීමත් සිදු කළහ. සැම ජනාධිපතිවරයෙකුම කටයුතු කළේ විධායක බලතල සහිතව සිය ධුරයේ රැඳී සිටීමටය. ඒ සියලු දෙනා ධුරයෙන් ඉවත් වූයේ දැඩි ලෙස අවමන් විඳීමෙන් මිස ගරුත්වයකින් නොවේ. දශක හතරක් විධායක ජනාධිපතිවරුන්ගේ පාලනය යටතේ මේ රට අසමත් රාජ්‍යයක් බවට පත් වුණා මිස වෙනකක් සිදු වුණේ නැත.
වරක් ලී කුවාන් යූ ගෙන් මාධ්‍යවේදියෙක් මෙවන් ප්‍රශ්නයක් ඇසුවේය, “ඔබේ සාර්ථකත්වයේ රහස කුමක්ද?” ඔහු මෙසේ පිළිතුරු දුන්නේය, ” මගේ අමාත්‍ය මණ්ඩලයේ මෝඩයින් හිටියේ නෑ.” වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේශපාලනය මෝඩ තකතීරුවන්ගේ මඩමක් බවට පත් වී ඇත. “ඔක්සිජන් කන්නදැ’යි අසන්නේ එහෙයිනි. උගතුන් සහ බුද්ධිමතුන් දේශපාලනයේ නැතුවාම නොවේ. නමුත් බහුතරය මෝයින්ය, නූගතුන් සහ වංචාකාරයින්ය. මෙම තත්ත්වයට උඩගෙඩි දී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයයි. අනාදිමත් කාලයක සිට විධායක ජනාධිපතිවරුන් සිය ධුරයේ බලතල අවභාවිතා කළේ තමාට වන්දනා කරන නූගත් එහෙයියන් පිරිසක් නිර්මාණය කර ගැනීමටයි.
වර්තමාන රජය අසමත් බව සක් සුදක් සේ පැහැදිළිය. එපමණක් නොව මේ රජය අන්තයටම වැටී හමාර අතර, අන් කිසිදු රජයකට වඩා ඉක්මනින් ජනතාවට එපා වී ඇත. රටේ ජනාධිපති සියලු නීති රෙගුලාසින්ට පටහැනිව තමාගේ මුවින් පිටවෙන සැම වචනයක්ම චක්‍රලේඛයක් ලෙස සලකා කටයුතු කරන්නට රාජ්‍ය නිළධාරීන්ට උපදෙස් දෙන්නෙක් බවට පත් වීම කෙතරම් ඛේදනීයද? තනි පුද්ගලයෙකු අතට මෙවන් අසීමිත බලයක් ලබා දීම කෙතරම් භයානකදැයි කියන්නට තවත් උදාහරණ අවශ්‍ය ද?
විධායක ජනාධිපති ක්‍රමයේදී තනි පුද්ගලයෙක් රටේ ඒකාධිපති පාලකයා බවට පත්වෙන අතර, ජනතාව, සිවිල් සේවය, පොලීසිය සහ නීති පද්ධතිය, අනෙකුත් දේශපාලකයින් ඔහුගේ යටත් සේවකයින් බවට පත් වීම සිදුවේ. මෙහිදී ජනාධිපතිවරයා රජෙකුගේ තත්ත්වයට පත්වන අතර, ජනතාවට සහ නීතියට ඉහළින් සිටින්නෙක් බවට පත් වී ඇත. තනි පුද්ගලයෙකුගේ බලය වටා රොක් වුණු අන්දරේලා සහ යටත් වැසියන් සහිත රාජ සභාවක් බවට රාජ්‍ය පාලනය පත්වන අතර, ප්රජාතන්ත්රවාදී පාලනයක ඇති අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව සහ ස්වාධීන රාජ්‍ය නිළධාරීන්ගේ බලය කප්පාදුවට ලක් වේ.
එවන් මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන්නන් ජනාධිපතිවරුන් මුරුංගා අත්තේ තබන අතර, දුර්වල පාලකයෝ එම චාටු බසට රැවටෙන්නෝය. ජනාධිපතිවරයාගේ හොඳ පමණක්ම ඔවුන් ජනාධිපතිවරයාට අසන්නට සලස්වන අතර, විවේචන නොඇසෙන්නට දොරටුපාලකම් කරන්නෝය. ඇමතිවරුන්, රාජ්‍ය සේවකයින් විසින් ජනාධිපතිවරයාට වන්දනා කරන්නට කටයුතු කරන අතර, ජනාධිපතිවරයා වටා අන්ධ භක්තියෙන් රොක් වන පිරිසක් නිර්මාණය කරන්නෝය.
අසීමාන්තික බලයකට උරුමකම් කියන ජනපතිධුරය ඉහත කී මානසික ව්යාධීන සහිත පිරිස් සඳහා තෝතැන්නක් බවට පත්ව ඇති අතර වෘත්තිකයින් සහ වෘත්තීයමය දේශපාලඥයින් කොන් වීම මෙමඟින් සිදු වේ. ව්‍යාපාරිකයින් සහ මාධ්‍ය ආයතන හිමි මුදලාලිලා ඇතුලු හෙංචයියන් පිරිසක් නිරන්තරයෙන්ම ජනපතිවරයා වටා සිටින බව පැහැදිළිය. තීරණ ගනු ලබන්නේ ගජ මිතුරන්ගේ වාසිය තකා මිස සමස්ත රටේ පුරවැසියාගේ යහපත පිණිස නොවේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සාර්ථක ව්‍යාපාරිකයින් සිටින්නේ අතලොස්සකි. බහුතරය තම ආයතනයේ මානව සම්පත සහ යටිතල පහසුකම් දියුණු කිරීමට දක්වන්නේ මැලි කමකි. ඩීල් දමන, කොමිස් ගහන, අඩු වටිනාකම් සහිත භාණ්ඩ වැඩි මුදලට විකුණන, බදු වංචා සිදු කරන, අයථා බැඳුම්කර ව්‍යාපාර ආදියේ නියළී සිටින්නන් වර්තමානය වනවිට ඉහළ සාර්ථකත්වයක් අත්කරගෙන සිටිති.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වැනි පුද්ගලයින් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය යන මතයේ සිටිමින් එම ජාතික ව්‍යාපාරයේ නියැලී සිටියේ මෙවන් දූෂණ වංචා සිදු වීමට විධායක ජනාධිපති ධුරය ඉවහල් වන බැවිනි. ගාමිණී සහ ලලිත් එදා දුටු පරිදි සෝභිත හිමියන්ද විධායක ජනාධිපති ධුරයේ අනතුර හඳුනා ගෙන ආණ්ඩු මාරුවකට වඩා වැඩි යමක් සිදුවිය යුතු බව අවබෝධ කර ගත්තේය. එක් ජනපතිවරයෙකු පන්නා දමා තවෙකෙක් එම පුටුවටම ගෙන ඒමේ පලක් නැත. අසීමිත බලය ඔහුව දූෂිතයෙක් බවට පත් කරන්නේය.
ශ්‍රී ලංකාව වැටී සිටින අගාධයෙන් ගොඩ ගැනීමට නම් විධායක ජනාධිපති ධුරය අහෝසිකොට එක් පුද්ගලයෙකු වටා අසීමාන්තික බලයක් විමධ්‍යගත වීම වැළැක්විය යුතු බව සෝභිත හිමියන් අවබෝධ කරගත්තේය. අවාසනාවකට උන්වහන්සේ ගෙන ආ රජයට එය කළ නොහැකි විය. එසේ වුවද, 19 වන ව්‍යවස්ථාව ප්රජාතන්ත්රවාදයේ මග හෙළි පෙහෙළි කරන්නට සමත් විය.
මෙයට පිං සිදු වන්නට වසර 35කට පසු අධිකරණයට සහ පර්ලිමේන්තුවට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව හිමි විය.
ජ්‍යේෂ්ඨ විනිසුරුවන් ජනපතිවරයාගේ අභිමතය පරිදි පත් කිරීම සහ උසස් වීම ලබා දීම සිදු නොවීය. ව්‍යවස්ථාදායක සභාව මගින් අධිකරණ පද්ධතියේ පත් කිරීම සිදු කරන ලද අතර, ජනාධිපති, කතානයක, අගමැති ,විපක්ෂ නායක සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් යන පිරිසගේ ඒකමතික තීරණය අනුව එම පත් කිරීම් සිදු කරන ලදී.
ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මකව තිබුණු 2015 සිට 2020 දක්වා කාලය තුල විපක්ෂයේ විරෝධතාවය මැද කිසිදු රාජ්‍ය සේවකයෙක් හෝ අධිකරණ නිළධාරියෙක් පත්කොට නොමැත. රජයේ සහ විපක්ෂයේ ඒකමතික තීන්දුව මත සැම විනිසුරුවරයෙකුම පත්කරන ලදී. නමුත් 20 වන සංශෝධයෙන් මේ රට සිය බූදලයක් යැයි සිතා නැවතත් පාර්ලිමේන්තුව පාලනය කිරීමට ජනපතිවරයාට බලය ලබා දී තම අභිමතය පරිදි විනිසුරුවන් පත් කිරීම සහ උසස් වීම් ලබා දීමත් රාජ්‍ය නිළධාරීන් පත් කිරීමටත් හැකියාව ලබා දී ඇත.
වසර 43ක් ලබා දුන් අත්දැකීමම ප්‍රමාණවත්. අපව රටක් සහ ජාතියක් ලෙස දුර්වල කර ඇත්තේ මේ විධායක ජනාධිපති ක්‍රමයයි. අපව පිල්වලට බෙදා ඇත්තේද මෙම විධායක ජනාධිපති ක්‍රමයයි. මෙය අසමත් අත්දැකීමකි. දේශපාලකයින්ගේ ගුණාත්මකභාවය සීඝ්රයෙන් පහළ බසිමින් යන වකවානුවක, ජනාධිපතිවරයාගේ ගුණාත්මකභාවයද එසේ අඩුවෙමින් පවතිනවා විනා වැදි වීමක් දක්නට නැත. කඩයක්වත් හරියට කරගන්නට තරම් මානසික වර්ධයක් නොපෙන්වන පුද්ගලයෙකු රටක් පාලනය කරන්නේ කෙසේද? එවන් පුද්ගලයෙකු විසින් පාලනය ලරනු ලබන රටකට යන කලදසාව කුමක් වේද?
අවාසනාවකට මෙන් අපගේ දේශපාලකයින්ගෙන් බහුතරය මෙම විධායක ජනාධිපතික්රමය නම් බාඳුරා මල වෙත ආකර්ෂණය වී ඇත. ඔවුන් එය අහෝසි කිරීමට නොකැමති වන්නේ යම් දිනක ඔවුන් මෙරට ජනාධිපතිවරයා වේ ය යන බලාපොරොත්තුවෙනි. ඔවුන් හිතන්නේ තමා විශේෂ යැයි කියාය. ඔවුන් සිතන්නේ අනෙක් ජනාධිපතිවරුන් අසමත් වූවාට තමා සමත් වේය කියාය. නමුත් ඉතිහාසය විසින් අපට උගන්වා ඇති පරිදි සැම ජනාධිපතිවරයෙකුම මේ රට වල පල්ලට ඇද දමා ඇත.
ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තුවන කාර්යභාරය ඉටු නොවන්නේ නම්, ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ මෙන් පක්ෂය තුලින්ම ඔහුව හෝ ඇයව නෙරපා වෙනත් අයෙක් පත් කිරීමේ හැකියාව ඇත. තම පදවිය පිළිබඳව ඇති මෙම බිය සහ තර්ජනය ස්ථාවර, විනීත, ප්රජාතන්ත්රවාදී පාලනයකට මග පෙන්වනවා විනා අසමත් පාලකයෙක් නිර්මාණය කර රජෙකු මෙන් ඉදිරි වසර හය ගෙවා දැමීමට ඉඩ සලසන්නේ නැත.
විධායක ජනාධිපති ක්‍රමය අසමත්ය. වගකීම් සහ වගවීම් සහිත ප්රජාතන්ත්රවාදී පාලන තන්ත්රයක් නිර්මාණය කිරීමට කාලය පැමිණ තිබේ. ශ්‍රී ලංකාව සංවර්ධනයේ මාර්ගය වෙත යොමු කළ හැක්කේ අප මෙම ඒකාධිපතිවාදි ජනාධිපති ක්‍රමයෙන් මිදී විනිවිද භාවයකින් යුත්, නිදහස්, නිවහල්, ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කරගත් දවසටය.
ජනපතිවරයා යනු දිව්‍ය ලෝකයෙන් මෙලොවට පැමිණෙන්නෙක් නොවේ. ඔහුට එම බලය ලබා දී ඇත්තේ ජනතාව විසින් පත්කරන ලද නියෝජිතයින් සහිත පාර්ලිමේන්තුව විසිනි. ජනමත විචාරණයකින් සහ තුනෙන් දෙකේ බහුතර පාර්ලිමෙන්තු ඡන්දයකින් මෙකී බලය නැති කිරීමට හැකියාව ඇත. එය දිව්‍යමය අයිතියක් නොවේ. එය ජනතාව විසින් සහ ජනතාව විසින් පත් කරන ලද නියෝජිතයින් විසින් ලබා දුන් බලයකි.
ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරකින, මානව අයිතිවාසිකම් රකින, අගමැතිගේ නායකත්වයෙන් යුත් වෙස්මිනිස්ටර් වර්ගයේ රජයක් සහ විනිසුරුවරුන්, පොලිස් නිළධාරීන් සහ අනෙකුත් රාජ්‍ය නිළධාරීන් දේශපාලකයින් විසින් පත් නොකිරීමට ප්‍රතිපාදන සහිත ප්රජාතන්ත්රවාදී සංශෝධන සහිත ව්‍යවස්ථාවක අවශ්‍යතාව ශ්‍රී ලංකාවට පවතී.
වර්තමානයේ පක්ෂ විපක්ෂ ජ්‍යේෂ්ඨ දේශපාලඥයින්ද මෙම ජනධිපති ක්‍රමය අහෝසි කිරීමට පිණිස කටයුතු නොකරන්නෝය. සැබෑ වෙනසක් අවශ්‍ය වී ඇත්තේ සාමාන්‍ය ජනතාවට, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට මෙන්ම මෙම දූෂිත දේශපාලනයෙන් බැටකෑ, දේශපාලන ක්ෂේත්රය නියෝජනය නොකරන පිරිසටයි. ඔවුන් මේවාට විරුද්ධව නැගී සිටිය යුතුය. මීළඟ නායකයාට අපගේ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය යළි පිහිටුවීමට බල කළ යුතුය.
විධායක ජනාධිපති ක්‍රමය මේ රට බේරා ගනීවිය යන්න ජේ ආර් ජයවර්ධන සිතන්නට ඇත. වර්තමානයේ උද්ගත වී ඇති අවාසනාවන්ත තත්ත්වය නම් විධායක ජනාධිපතිගෙන් ජනතාව බේරා ගැනීමට සිදු වී තිබීමය.
පරිවර්තනය: තසන්දි අබේවර්ධන