මොන්ටෙගු සරච්චන්ද්‍ර විසිනි
2021. 04. 17 වන දිනට යෙදුණු ලොව ප්‍රථම අගමැතිණිය, ශ්‍රී ලංකා දේශපාලනයේ දූරදර්ශී නායිකාවක වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිණියගේ 105වන ජන්ම දිනය නිමිත්තෙනි.
“සිය පාරම්පරික අයිතියට හිමිව තිබූ වටිනා වැවිලි සහිත ඉඩම් අක්කර තුන් දහසකට (3000) වැඩි ප්‍රමාණයක් රට වෙනුවෙන් ජනසතුකර ජනතාවට පරිත්‍යාග කළ ලෝකයේ එකම රාජ්‍ය නායකත්වය විසින් ඉඩම් අක්කර තිස් දෙකක් (32) වංචනික ලෙස විකුණාගත් බවට චෝදනා කරමින්, සිය දේශපාලන විරුද්ධවාදීන් විසින් අධිකරණමය නොවන දේශපාලනික ක්‍රියාදාමයක් මගින් ඡන්ද අයිතියද අහිමි කර දැමුවද සිය දේශපාලන ප්‍රතිපත්ති සහ තම පාක්ෂිකයන් වෙනුවෙන් නොසැලී පෙනීසිටි, යුගයේ අසමසම දේශපාලන නායකත්වය සිය දිවිසැරිය නිමා කරන්නට පැයකට දෙකකට පෙර තමන් දැඩිව විශ්වාස කළ ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් සිය පරමාධිපත්‍යය බලයවූ ඡන්දය පාවිච්චි කිරීම වඩාත් ගැඹුරින් නැවත නැවතත් සිතා බැලියයුතු දෛවෝපගත සිදුවීමක් ලෙස මම දකිමි.”
-ශ්‍රීමත් ගෝපාල ක්රිෂ්ණ ගාන්ධි (ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්)
මා ඉහත සඳහන් කළේ 2000 වසරේ ඔක්තෝබර් මස 10 වන දින පැවති මහා මැතිවරණයේදී නිට්ටඹුව සංඝබෝධි විදුහල් ශාලාවේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය වටිනා ඡන්දය භාවිතාකර ආපසු කොළඹ නිවසට පැමිණෙන අතරතුර කඩවත ප්‍රදේශයේදී සිය දිවිගමන නිමාකළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අවමඟුලට සහභාගීවූ එවකට ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාව සිටි ශ්‍රී ගෝපාල ක්‍රිෂ්ණන් විසින් එතුමිය පිළිබඳව තබන ලද ශෝක සටහනයි.
මෙම වසරේ අප්‍රේල් 17වන දිනට යෙදී තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 105 වන ජන්ම දිනයයි. 1916 අප්‍රේල් 17 දින උපත ලැබූ සිරිමා රත්වත්තේ කුමරිය රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකාවෙන් සහ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබුවාය. පාසල් අධ්‍යාපනය නිමාකර බලංගොඩ නිවසට පැමිණි නව යොවුන් සිරිමා රත්වත්තේ සිය ආදරණීය මෑණියන් වූ මහවලතැන්නේ කුමාරිහාමි ඇස් වෙදහාමිනේට සහාය වෙමින් විවිධ ඇස් රෝගවලට ප්‍රතිකාර පතා තම නිවසට පැමිණෙන දුප්පත් ගම් වැසියනට ඇප උපස්ථාන කළාය. එපමණක් නොව අද කොවිඩ් වසගංතයටත් වඩා දරුණු ලෙස 1930 දශකයේ දිවයින පුරා පැතිරගිය මැලේරියා වසංගතයෙන් අසරණවූ රත්නපුර දිස්ත්‍රික්කයේ අහිංසක ගම්වැසියන්ට ප්‍රතිකාර කිරීම සඳහා සිය පියතුමන්වූ බාන්ස් රත්වත්තේ රටේ මහත්තයා සමග දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවල සැතපුම් ගණන් පයින් ඇවිද ගියාය.
වර්ෂ 1940 ඔක්තෝබර් 03 වනදා එවකට රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී සහ පළාත් පාලන අමාත්‍යවරයාද වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක බැරිස්ටර්වරයා සමඟ විවාහවූ එතුමිය ඔක්තෝබර් 10 වනදා සිය ස්වාමියා සමග ඔහුගේ නිවසවූ ගම්පහ හොරගොල්ල වලව්වට පැමිණියාය. එතැන් පටන් ඇමති බිරිඳක ලෙස සිය ස්වාමියා හමුවන්නට පැමිණෙන ජනතාවට ඉටුවියයුතු සියලු යුතුකම් නොපිරිහෙලා ඉටුකළ සිරිමාවෝ මැතිනිය සුනේත්‍රා, චන්ද්‍රිකා, අනුර යන සිය දරු තිදෙනාටද ආදරණීය මවක්ම වූවාය. ලංකා මහිලා සමිති ව්‍යාපාරයේ කැපී පෙනෙන ක්‍රියාකාරිණියක් සහ විවිධ නිලතල දරමින් එහි නිර්මාතෘතුමිය වූ දොස්තර මේරි රත්නම් මහත්මිය සමග කරට කර සමාජ සේවාවන්හි යෙදුණාය.
වසර 1956 මහා මැතිවරණයේ නාම යෝජනා දිනයට දින දෙක තුනකට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බර්නාඩ් අලුවිහාරේ මහතා පක්ෂයෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂයට එක්වූ අවස්ථාවේ පක්ෂ නායක තම ස්වාමියාට ශක්තියක් වෙමින් මාතලේ ආසනයට අපේක්ෂකයකු සොයාගැනීමේ වගකීම බාරගත්තාය. කෑගල්ලේ බැංකු සේවකයකුවූ නිමල් කරුණාතිලක මහතා මාතලේ ආසනයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් පක්ෂය අමාරුවේ දැමූ ලේකම්වරයා පරාජය කර තම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමටද ඇය සමත් වූවාය. පක්ෂ නායකයා ලෙස සිය ස්වාමියා රටපුරා මැතිවරණ කටයුතුවල යෙදෙද්දී ඔහු ඉදිරිපත්වූ අත්තනගල්ල ආසනය ජයග්‍රහණය කරවීමේ මුළු බරම කරට ගත් එතුමිය අදටද කිසිවෙකුට බිඳලිය නොහැකි ලෝක වාර්තාවක් තබමින් අත්තනගල්ල ආසනයෙන් 94% කටත් වැඩි ඡන්ද ප්‍රමාණයක් සිය ස්වාමියාට ලබා දෙන්නට සමත් වූවාය.
සිය 19 වන විවාහ සංවත්සරයට හරියටම සතියකට පෙර සිය නිවස තුළදීම තම ආදරණීය ස්වාමියා ඝාතනය වීමේ කම්පාව දරාගන්නට එතුමියට සිදුවිය. සියල්ලෙන් වෙන්ව සිය දරු තිදෙනාත් සමඟ නිදහස් දිවියක් ගතකිරීම එතුමියගේ පැතුම විය. එහෙත් වාසනාව තිබුණේ ලාංකේය ජනතාවගේ පැත්තෙහිය. මහා සංඝරත්නයේත්, විද්වතුන් සහ පාක්ෂිකයන්ගේත් දැඩී ඉල්ලීම් මත 1960 මැයි 07 වනදා එතුමිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය බාරගත්තාය. එතැන් සිට තෙමසක් ගතවීමටත් පෙර 1960 ජූලි 21 වනදා ලෝක වාර්තා තබමින් ලෝකයේ පළමු අගමැතිනිය ලෙසද පත්වූවාය. සිය අවංකබවින් හා චාම් පැවැත්මෙන් ලෝක නායකයින්ගේ අපමණ ගෞරවය හා භක්තිය අපේ මවුබිමට ලබා දුන්නාය. සිය පක්ෂයේම කණ්ඩායමකගේ කුමන්ත්‍රණයක් නිසා 1964 දී පාර්ලිමේන්තුවේ එක වැඩි ඡන්දයකින් සිය රජය පරාජය වූ විට නැවත ඡන්දයක් විමසන ලෙස මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු ඉල්ලද්දී පරාජය බාරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන්ට කිසිදු බල තණ්හාවක් නොමැතිබව මුළු මහත් ලෝකයාටම පෙන්වූවාය.
1970 මහ මැතිවරණයෙන් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට තුනෙන් දෙකක බලයක් හිමි කරගත් සිරිමාවෝ මැතිනිය ඉන් වසරක් ගතවීමටත් පෙර රටපුරා ඇතිවූ තරුණ කැරැල්ලකටද මුහුණ දුන්නාය. එම තරුණ කැරැල්ලට සහභාගීවූවන් පිළිබඳව සහ ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා එතුමිය ක්‍රියාත්මක කළ වවැඩපිළිවෙළ මුළු මහත් ලෝකයේම අගැයීමට ලක්විය. 1972 මැයි 22 දින ලංකාවට පූර්ණ ස්වාධීනත්වය ලබාදෙමින් ශ්‍රි ලංකාව ජනරජයක් කළ එතුමිය එතෙක් ලාංකීය අධිකරණ පද්ධතියේ අවසාන අභියාචකයා ලෙස එංගලන්තයේ රාජාධිකරණයට හිමිව තිබූ සියලු බලතල ශ්‍රි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දුන්නාය.
1961 දී බෙල්ග්‍රේඩ් නුවර පැවත්වුණු නොබැඳි ජාතීන්ගේ පළමු සමුළුවට ඉන්දියාවේ ශ්‍රි ජවහර්ලාල් නේරු, මිසරයේ ගමෙල් අබ්දෙල් නසාර්, යුගෝස්ලාවියාවේ මාර්ෂල් යොෂිප් බ්රොෂ් ටිටෝ, කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ වැනි ලෝක නායකයින් සමග සහභාගීවීමට සිරිමාවෝ මැතිනිය වාසනාවන්ත වූවාය. 1976 අගෝස්තු 16 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණු 5 වන නොබැඳි ජාතීන්ගේ මහ සමුළුවේදී එහි ප්‍රථම සභාපතිනිය ලෙස පත්වෙමින් ලෝකයේ රටවල් 86 ක නායකත්වය අපේ මවුබිමට දිනා දුන්නාය.
ශ්‍රි ලංකාවේ සැබෑ නිදහස් දිනය වන්නේ ශ්‍රි ලංකාව ජනරජයක් බවට පත්වූ මැයි 22 දිනය වුවත් ඒ ගැන කතාකරන විට සිරිමාවෝ මැතිනිය ගැන සිහිපත් කෙරෙන නිසාම 1977 දී බලයට පත්වූ ජේ.ආර්.ජයවර්ධන මහතා 1978 දී ඔහු විසින් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය ලෙස ” ශ්‍රි ලංකාවේ නිදහස් දිනය පෙබරවාරි 4 වන්නේය” යනුවෙන් ඇතුළත් කරමින් ශ්‍රි ලංකාව සැබෑ නිදහස ලැබූ මැයි 22 දිනය යටපත් කළේය. ඉන් නොනැවතුණු ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම වගන්තිය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය සමග ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවටද කොන්දේසි පැනවීය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පිළිබඳව, එතුමිය අපේ මාතෘ භූමියට පමණක් නොව මුළු මහත් ලෝකයට ඉටුකළ සේවාවන් පිළිබඳව පවසන්නට බොහෝදේ තිබේ.එහෙත් ඒ සියල්ල පවසන්නට හැකියාවක් ඇත්තෙකු මෙලොව සිටිතැයි මට නොසිතේ. මෙහි සඳහන් කළේද එතුමිය පිළිබඳව මා දන්නා දෙයින්ද අංශු මාත්‍රයක් පමණි. අවසන් වශයෙන් 1960 ජූලි 21 දින එතුමිය ලෝකයේ පළමු අගමැතිනිය වීම පිළිබඳව ජාත්‍යන්තරයෙන් පළවූ අදහස් කිහිපයකින් මෙය නිමා කරමි.
- “සිරිමාවෝ මැතිනිය අගමැතිනිය වීම ලංකාවේ ප්රජාතන්ත්රවාදයට තවමත් හොඳ පණ ඇතිබව ලෝකයටම පෙන්වීමකි”. ( ලන්ඩන් ටයිම්ස් පුවත් පතේ කතුවැකිය)
- “ලොවපුරා කාන්තාවනි නැගිටිවු! බණ්ඩාරනායක මැතිනිය රැක ගනිවු.” (ලන්ඩන් ස්ටාර් පුවත්පතේ ප්‍රධාන සිරස් තලය)
- “බණ්ඩාරනායක මැතිනියගේ පෞද්ගලික අවංකභාවය සහ එතුමිය තම දිවංගත ස්වාමි පුරුෂයා ගෙනගිය ප්‍රතිපත්තිවලට දක්වන අධික ලැදියාවත්, ප්රගතිශීලී ජනතාවට එතුමිය දක්වන ගෞරවණීය පිළිගැනීමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලැබූ මේ විශිෂ්ට ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය විය.” ( ද හින්දු පුවත්පතේ කතුවැකිය)
- “පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ මැතිනිය පිළිගැනීමට ලැබීම අප ලැබූ වාසනාවකි” (කැනඩා අග්‍රාමාත්‍ය ජෝන් ඩීපන්)
- “අප දෙරට ඉදිරියේ ඇති ඕනෑම ගැටලුවක් විසඳාගැනීම සඳහා සිරිමාවෝ මැතිනියගේ නායකත්වය අපට මෙන්ම අප දෙරටෙහිම ජනතාවටද ඉමහත් සහනයක් වනු ඇතිබව මට කිසිදු සැකයක් නැත.”( ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජවහර්ලාල් නේරු)
- “සිරිමාවෝ මැතිනියගේ ජයග්‍රහණය ගැන අතිශයින්ම සතුටු වෙමු. ලංකාවේ ජනතාව විසින් ලෝකයේ කාන්තාවන්ට පමණක් නොව සමස්ත මානව වර්ගයා වෙතම පහන් කුළුණක් තිළිණකර තිබේ. එය සමස්ත ලෝකයේම අලුත් පරිච්ඡේදයක ආරම්භයක් බව අපේ අදහසයි.”( බුරුමයේ අග්‍රාමාත්‍ය ඌ නූ )
මෙම ලිපියේ ලේඛක මොන්ටෙගු සරච්චන්ද්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන අතර මනෝ විද්‍යා උපදේශකයෙකු ලෙසද කටයුතු කරන්නේය.