සංජය නල්ලපෙරුම විසිනි.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සබඳතා කෙරෙහි මෙන්ම රටේ අභ්‍යන්තර දේශපාලන කටයුතු කෙරෙහිද වැඩිම බලපෑමක් එල්ල කරන්නේ ඉන්දියාව හා චීනයයි. කලාපීය බලවතුන් දෙදෙනා වන ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවට ඇස යොමාගෙන සිටින්නේ රටට ඇති ආදරයට නොව, ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික පිහිටීම මේ බලවතුන් දෙදෙනාගේ බලය තහවුරු කරගැනීමේ අරගලයේ වැදගත් සංධිස්ථානයක් වන නිසාය.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කළමනාකරණයෙහි උපන් අසමත්කමක් දක්වන රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව හා චීනය කළමනාකරණය කරගත්තේ රටේ බිම් කඩවල් දීර්ඝ කාලීන බදු පදනම මත හෝ සින්නක්කර පදනම මත එම රටවලට පවරාදීමෙනි.
ගාලු මුවදොර ඉදිරිපිට ඉඩමක් ෂැංග්‍රිල්ලා හෝටලය ඉදිකිරීමට ලබාදෙන විට කොටුව පොලීසිය පිහිටි බිම ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමට ලබාදීමට සිදුවිය. චීනය මැදිහත්වී හම්බන්තොට වරාය ඉදිකරන විට හම්බන්තොට ඉන්දිය කොන්සල් ජනරාල් කාර්යාලයයක් විවෘත කිරීමට ඉඩ ලබාදීමට මහින්ද රාජපක්ෂ රජයට සිදු විය.
දැන් පෝට් සිටිය චීනයට ලබාදෙන විට උතුරු මුහුද ඉන්දියාවට ලබාදීමට ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුවට සිදුවන ලකුණු පහළවෙමින් තිබේ.
උතුරු මුහුද ඉන්දියාවට වැදගත් වන්නේ එහි තිබෙන මත්ස්‍ය සම්පත නිසාය. ඉන්දියාවෙන් ඇද හැලෙන විශාල ගංගා ප්‍රමාණයක් නිසා උතුරු මුහුදේ විශාල මත්ස්‍ය සම්පතක් බිහිවී තිබෙන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. පසුගිය වසර තිහක කාලය පුරා පැවති යුද ගැටුම් නිසා එම ප්‍රදේශයේ ධීවර කර්මාන්තයක්ද සිදුවූයේ නැත. මේ නිසා අති විශාල මත්ස්‍ය සම්පතක් උතුරු මුහුදු සීමාවේ තිබේ.
කෙසේ වෙතත්, පසුගිය වසර දහයක කාලය පුරා විටින් විට ලංකාවේ මුහුදු සීමාවට ඇතුලුවන ඉන්දීය ධීවරයින් හා ධීවර යාත්‍රා නාවික හමුදාවේ අත්අඩංගුවට පත්විය. එහෙත් ඒ සියල්ලම නැවත මුදාහරින්නේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මතය.
මෙතෙක් කල් හොරාට කළ දේට වත්මන් ආණ්ඩුව නීත්‍යානුකූල මුහුණුවරක් ලබාදීමට දැන් සූදානම් වෙයි. ඒ ඉන්දියානු ධීවරයින්ට ලංකාවේ මුහුදු සීමාවේ ධීවර කටයුතු කිරීමට බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කිරීමත් සමඟය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවට අනුව බලපත්‍ර සහිත ඉන්දීය ධීවරයින්ට ලංකාවේ ධීවර කටයුතු කිරීමට අවස්ථාව උදාවේ.
මෙසේ අවසර ලබාදෙන්නේ සාමාන්‍ය ඉන්දීය ධීවරයින්ට නොවේ. ධනය හා බලය ඇති ඉන්දීය ධීවර ව්‍යාපාරිකයින්ටය. මෙම ට්‍රෝලර් යාත්‍රා හිමි බොහෝ දෙනා දකුණු ඉන්දියාවේ දේශපාලනයට සම්බන්ධ ප්රබලයින්ය. අවසානයේදී ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින්නේ ඉන්දීය දේශපාලඥයින්ගේ මඩිය තර කරගැනීමේ උත්සාහයකට සහාය ලබාදීමය.
ලංකාවේ මුහුදු සීමාවේ තිබෙන මත්ස්‍ය සම්පත ලබාගැනීම සදහා ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති තත්ත්වය හමුවේ තමිල්නාඩුවේ ධීවර ව්‍යාපාරිකයෝ මෙයට ඇස යොමාගෙන සිටියෝය. එනිසා යුද්ධය අවසන්වීමෙන් පසුව ගතවූ වසර දහය තළදී ඉන්දීය ධීවරයෝ විශාල වශයෙන් ලංකාවේ මුහුදු සීමාවට පැමිණ මසුන් මරන්නට වූහ. ඉන්දීය ධිවරයින් පැමිණෙන්නේ ලංකාවේ ධීවරයින් මෙන් කුඩා බෝට්ටුවලින් නොවේ. විශාල ට්‍රෝලර් යාත්‍රාවලින් පැමිණෙන ඔවුන් මසුන් අල්ලාගෙන යන්නේ මුහුදු පත්ල සූරමින් කුඩා මසුන්, බිත්තර මෙන්ම ජලජ ශාක ද හසුවන ආකාරයටය.
විශාල ප්‍රමාණයේ යකඩ ආවරණ සහිත දැවැන්ත දැලක් මුහුදට දමා මුහුදේ සියලූමදේ එකට එකතු කරගන්නේ ට්‍රෝලර් යාත්‍රා දෙකක් මගින් එම දැල අදිමිනි. මෙය බොටම් ට්‍රෝලින් ලෙස හඳුන්වයි. පර්යේෂණාත්මකව සොයාගෙන ඇති ආකාරයට බොටම් ට්‍රෝලින් ක්‍රමයට මසුන් ඇල්ලීමෙන් ලැබෙන අස්වැන්නෙන් සියයට 80-90ක් පමණ ප්‍රමාණයක් අපතේ යෑම සිදුවේ. ධීවරයින්ගේ සැබෑ අස්වැන්න සියයට දහයක් පමණ වන අතර නිස්කාරණේ යකඩ දැලට හසුවූ සියයට අනූවක පමණ ජලජ ජීවින් නැවත මුහුදට විසි කිරීම සිදු කරයි. නමුත් ඒ වන විට ඉන් විශාල ජීවින් ප්‍රතිශතයක් මියගොස් තිබෙන අතර, තවත් ජීවින් පිරිසක් දැඩි ලෙස තුවාල ලබා තිබේ.
මෙසේ ආර්ථික මෙන්ම පාරිසරික වශයෙන් විනාශකාරී අන්දමින් ධීවර කටයුතු සිදුකරන විට මසුන් පමණක් නොව කොරල් සම්පතද විනාශ වන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ආහාරයට ගත නොහැකි එමෙන්ම මුහුදු පරිසර පද්ධතියේ පැවැත්මට උපකාරී වන මුහුදු ජීවීන් විශාල වශයෙන් විනාශ වීම මෙමඟින් සිදු වේ. ට්‍රෝලර් යාත්‍රා භාවිතය තිරසාර ධීවර කර්මාන්තයට දැවැන්ත අභියෝගයක් වන්නේ එනිසාය. ගෝටාබය රාජපක්ෂ රජය ඉඩ දෙන්නට යන්නේ මෙවන් මහා විශාල විනාශයකටය.
උතුරේ සාමාන්‍ය ධීවරයින් මෙයට විරුද්ධ වන්නේ දීර්ඝ කාලීනව ධිවර කටයුතු කරන ඔවුනට අනාගතයේ සිදුවන ඉරණම ඔවුන් දැන් දකින නිසාය. ඉන්දීය ධිවරයින්ගේ ධීවර කටයුතු අවසානයේදී සිදුවන්නේ ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත විනාශ වීමය. මෙහි අයහපත් ප්‍රතිපලය ලැබෙන්නේ මේ දේශපාලකයින් බලයේ සිටින වකවානුවේ නොවේ. මෙමඟින් ශ්‍රී ලාංකාවට දීර්ඝ කාලීනව මත්ස්‍ය සම්පත අහිමි වීම සිදු වේ. එවිට අපේ පිහිටට මේ පාලකයින් එන්නේ නැත.
ආණ්ඩුව දැන් අහිංසක ශ්‍රී ලාංකීය ධීවරයාත් උකසට තබමින් කර ඇත්තේ විදේශ සම්බන්ධතා කළමනාකරණය කරගැනීමේ අසමත්කම ලෝකයට පෙන්වීමය. පෝට් සිටිය චීනයට දෙන විට උතුරු මුහුද ඉන්දියාවට දීමය. ජාත්‍යනතර සම්බන්ධතා කළමනාකරණය කරගැනීමේ දක්ෂතාවයක් ඇතිනම් ආණ්ඩුව කළ යුතුව ඇත්තේ උතුරේ ධිවරයා ආරක්ෂා කරගනිමින් ඉන්දියාව හා චීනයේ මිත්‍රත්වය පවත්වා ගැනීම බව නැවත වරක් මතක් කළ දිය යුතුව තිබේ.
ඡායාරූපය අන්තර්ජාලයෙනි