වසවිස නැති රසගුණ ඇති සිංහල අලුත් අවුරුදු කෑම මේසය
සටහන පංචමී හේවාවිසෙන්ති
ඡායාරූප- කෝසල හසිත සුබසිංහ
අලුවා- අපේ සිංහල අලුත් අවුරුදු කෑම මේසයේ නොවරදින තවත් එක් කැවිලි වර්ගයක්. අලුවා සාදාගනු ලබන්නේ හාල් පිටිවලට උණුකරගත් සීනි පැණි එක්කර ගැනීමෙනි. ශ්‍රී ලංකාවේ බහුලව අලුවා සාදාගන්නේ හාල් පිටිවලින් වන අතර, මෙවර කුවේණි “වසවිස නැති රසගුණ ඇති සිංහල අලුත් අවුරුදු කෑම මේසයෙන්” හඳුන්වා දෙන්නේ තරමක වෙනස් අලුවා වර්ගයක්. ඒ කඩල පිටි සහ කිතුල් පැණි එක්කොට සකසා ගනු ලබන අලුවා වර්ගයක්. “කඩලපිටි කිතුල් පැණි අලුවා” මින් පෙර ඔබ රස නොබලා ඇති බවට සැක නෑ.
දිව පිනවන්න අප ගන්නා බොහෝ ආහාර ශරීරයට ශක්තිය හා අවශ්‍ය පෝෂක ලබා දීමට අසමත්වන අතර, ඒවා බොහෝ විට දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝගවලටත් ස්ථුලතාවය ඇතුළු වෙනත් ආබාධවලටත් හේතු වේ. එවන් ආහාරවලින් අපට ලැබෙන්නේ තත්පර කිහිපයක දිවේ රස නහර උත්තේජනයක් පමණි. අප ගන්නා ආහාර නිසා අප රෝගී වී ජීවිතය පුරා බෙහෙත් බොන්නට සිදු වන්නේ නම් එය අභාග්‍යයකි.
එනිසා හැමවිටම අප ගන්නා ආහාරයේ රසය පමණක් නොව ගුණය පිළිබඳවත් සැලකිලිමත් වීමට වගබලා යුතුය.
“කඩල පිටි කිතුල් පැණි අලුවා” දිව පිනවන, සිරුරට ශක්තිය හා පෝෂණය ලබා දෙන බෝ නොවන රෝගවලට හේතු නොවන අපේම රස කැවිල්ලක්. මෙහිදී කඩල පිටි සමඟ සම සමව දේශීය සහල් පිටි යොදා ගනු ලබයි. කඩලවල ඇති ප්‍රෝටීන් සහ ෆෝලේට් ඇතුලු පෝෂකත් තන්තු ඇතුළු අනෙකුත් ක්ෂුද්‍ර පෝෂකත් එමෙන්ම දේශීය ශ්‍රී ලාංකීය සහල්වල ඇති කැල්සියම් ඇතුළු විවිධ පෝෂකත් නිසා කඩලපිටි අලුවා පෝෂණ ගුණයෙන් ඉහළය.
සීනි වෙනුවට කිතුල් පැණි යොදා ගන්නා නිසා දියවැඩියාව වැනි බෝනොවන රෝග පිළිබඳව බියක් ඇති කර ගැනීමට ද අවශ්‍ය නොවේ. කිතුල් පැණි, සීනි වෙනුවට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආදේශකයක් බව දේශීය වෛද්‍යවරුන්ගේ මතයයි.
මේ සිංහල අලුත් අවුරුද්දට හැම දෙනාම හදන හාල්පිටි අලුවා වෙනුවට වෙනස්ම රසයක් ඇති කඩල පිටි කිතුල් පැණි අලුවා හදලා බලන්න. මේ අලුත්ම රසයකින් යුත් අලුවා කෑල්ලක් ඔබේ නෑ හිතවතුන්ටත් පිළිගන්වන්න. මේ අලුත් අවුරුද්දේ හැම ගෙදරකින්ම රස බලන අලුවා කෑල්ල වෙනුවට ඔවුනට වෙනස් රසයකින් සංග්‍රහ කරන්න ඔබට හැකි වෙයි.
අවශ්‍ය ද්‍රව්‍ය
සුවඳැල් හාල් පිටි ග්‍රෑම් 250ක්
කඩල පිටි ග්‍රෑම් 250ක්
මිටිකිරි අඬු කෝප්පයක්
කිතුල් පැණි බෝතල් භාගයක්
එනසාල් කරල් 2ක්
ලුණු ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය
භාජනයක් ලිප තබා මඳ ගින්නේ රත් වන්නට හරින්න. ඉන් පසු එයට සුවඳැල් හාල්පිටි එක්කොට විනාඩි 10ක් පමණ බැදගන්න. හාල් පිටි අවශ්‍ය ප්‍රමාණයට රත් වෙලාද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් තමයි හාල් පිටි ටික බැදිලා ඇති කියලා හිතෙන කොට ඇඟිලි දෙකට පිටි ස්වල්පයක අරගෙන ලිපේ ගින්දරට දාන එක. ගින්දර එකපාරට හොඳට ඇවිලෙනවා නම් ඒ කියන්නේ පිටි ටික බැදිලා ඇති. පිටි රන්වන් පාට වතුරු බැදගන්නේ නෑ. පිටිවල අමු ගතිය යන තුරු බැදගැනීම ප්‍රමාණවත්. හාල් පිටි ටික නියම ප්‍රමාණයට බැදුණු පසු ඒවා අල්ලනවිට දැනෙන්නේ කුඩා වැලි කැට වාගේය.
දැන් බැදගත් හාල් පිටි ටික ඉඩ තිබෙන වෙනත් භාජනයකට දමන්න. හාල් පිටි බැදගත් භාජනයම නැවත ලිපේ තබා එයට කඩල පිටි එක්කර විනාඩි 10ක් පමණ බැදගන්න. කඩල පිටිවල අමු රසය නැති වනතුරු පිටි බැද ගත යුතුයි. කඩල පිටි ස්වල්පයක් ගෙන රස බලන්න. තව දුරටත් අමු රසයක් තියෙන්වා නම් තවත් විනාඩි කිහිපයක් මඳ ගින්නේ බැද ගන්න. මඳ ගින්නේ මෙම පිටි වර්ග බැද ගන්න නිසා බැදෙන්න ගතවන කාලය වැඩි වන්නට පුලුවන්.
හාල් පිටි සහ කඩල පිටි බැදගන්නා විට නිතරම හැන්දකින් හැඳි ගාන්න ඕන. එහෙම නොවුණොත් පිටි සමානව බැදෙන්නෙ නැතිවෙන්න පුලුවන්. භාජනයේ අඩියේ තියෙන පිටි ටික කරවී යන්නත් පුලුවන්.
බැදගත් හාල් පිටි ටිකෙන් මේස හැඳි 3ක් විතර අරගෙන වෙනත් භාජනයකට දා ගන්න.
දැන් කඩල පිටි ටික ලිපෙන් බාගෙන හාල් පිටි එක්කළ භාජයටම එක්කර හොඳින් කලවම් කරන්න.
ඉන් පසු තවත් භාජනයක් ලිප තබා එය රත් වී ගෙන එනවිට එයට කිතුල් පැණි එක්කරන්න. ඉන් පසු එයටම පොල් කිරි ටිකත් එක්කර ගන්න. කිතුල් පැණි සහ පොල්කිරි හොඳින් කලවම් කරන්න. එයටම කුඩුකරගත් එනසාල් සහ ලුණු ස්වල්පයක් ද එක්කර හොඳින් මිශ්‍ර කරන්න. තවත් විනාඩි 5ක් පමණ උතුරුවා ගන්න. ඉන්පසු පැණි මිශ්‍රණය ලිපෙන් බාගෙන මඳක් නිවෙන්නට හරින්න. දැන් හාල්පිටි සහ කඩල පිටි එක්කළ භාජනයට ටිකෙන් ටික පැණි එක්කරමින් පිටි කැට නොසිටින සේ හෙමින් සීරුවේ අතින් අනාගන්න. පැණි එකවර නොදමා ටිකෙන් ටික එක්කර ගන්න. එවිට අලුවාවලට පැණි වැඩි නොවී නිසි පදමට පැණි එක්කරගත හැක. අලුවා මිශ්‍රණය තද ගතියකින් යුක්ත විය යුතුයි. දියාරු වුවහොත් කෑලි කපා ගැනීම අපහසු වේ.
කඩල පිටි සහ හාල් පිටි කැට නොසිටින සේ හොඳින් පොඩිකර මිශ්‍රණය අනාගත් පසු පැතලි ලෑල්ලකට කලින් වෙන්කර තබාගත් හාල්පිටි ටිකක් ඉසින්න. ඉන්පසු අලුවා මිශ්‍රණය ඒ මත තබා අඟලක පමණ ප්‍රමාණයට පැතලි කර ගන්න. දැන් ඒ මතට නැවතත් පිටි ටිකක් ඉස කැමති හැඩයකට කෑලි කපා ගන්න.
කඩලපිටි පැණි අලුවා සකසා ගන්නා ආකාරය බලන්න.