පංචමී හේවාවිසෙන්ති
බක් පොහොය ශ්‍රී ලාංකිකයිනට ඉහළ වැදගත්කමකින් යුත් පොහොයක් ලෙස හැඳින්විය හැක. ඒ මන්දයත් බුදුන්ගේ දෙවන ලංකාගමනය සිදු වූයේ අද වැනි උතුම් බක් පොහොය දිනයක වන බැවිනි. මැණික් පුටුවක් හේතුවෙන් චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුම සංසිඳවීමට බුදුරජාණන් වහන්සේගේ කැලණියට වැඩම කළ සේක.
ශ්‍රී ලංකාව ඉතා වාසනාවන්ත දේශයක් ලෙස සැලැකිය හැක්කේ සම්බුද්ධ ශ්‍රී පාදයේ පහස මේ පොළොවට දැනුණු හෙයිනි. එහි ආනුභාවය අද දක්වාම මේ පොළොවේ පැවතීම විශේෂයකි. කෙතරම් සතුරු ආක්‍රමණ පැමිණියද ඉන් නිදහස් වීමට මේ පින් බිමට හැකි වූයේ ඒ උතුම් බුදු පහස මේ බිමට ලැබුණු නිසා වන්නට ඇත.
බුදුන් මුල්වරට අපේ මේ භූමියට වැඩියේ යක්ෂයින් දමනයටය. ඒ පින්බර දුරුතු පුන් පොහොය දිනකය. එකල ඒ යක්ෂයින් මෙන් මෙකලද මිනිස් වෙසින් සිටින විවිධාකාර යක්ෂයින් තවමත් මේ පින් බිම විනාශ කරමින් සිටින්නෝය. මේ දේශයේ ගුණ දහම් විනාශ කරන, සම්පත් විනාශ කරන, බුදුදහම විකෘති කරන, වර්තමානයේ මේ බිමේ සිටින යක්ෂයින් දමනයට බුදු වරයෙකුගේ වැඩමවීම මේ කාලයේ අවැසි වූවත්, තවත් කල්ප ගණනකට බුද්ධෝත්පත්තියක් සිදු නොවනු ඇත. අපට සතුටු විය හැක්කේ අප තවමත් සිටින්නේ බුද්ධෝත්පත්ති කාලයක වීම නිසාය.
බුදුන් පළමුවත් දෙවනුවත් ලක්දිවට වැඩම කළේ දුෂ්ට මිනිසුන් දමනයටය. පළමුව මහියංගන ප්‍රදේශයේ යක්ෂයින් දමනයටත් දෙවනුව කැලණියේ නාගයින් දමනයටත් උන්වහන්සේ වැඩිය සේක. යක්ෂ සහ නාග යනු අහිංසක ජන කොට්ඨාශ ලෙස සැලකිය නොහැක. අදටත් අප යක්ෂයින් යන නම කී විට බිය වන්නෙමු. නාගයෙක් දුටුවහොත් දෂ්ට කරතැයි බියෙන් ඒතැනින් ඉවත් වන්නෙමු. එවන් තද ගතිගුණ සහිත අතීතයේ මෙරට විසූ ජන කොට්ඨාශ පවා බුදු දහමට අවනත වී දහම් මාර්ගයේ ගමන් කළහ. මහින්දාගමනයට පෙර මෙහි විසුවේ බෞද්ධයින් බවට මීට වඩා උදාහරණ අවශ්‍ය නොවේ.
වර්තමානයේ අප රටට අරක්ගෙන ඇති සමහරක් මිනිස් වෙසින් සිටින යක්ෂ බලවේග ද කාලයේ ඇවෑමෙන් මේ බිමින් තුරන්ව යනු ඇතැයි අපට බලාපොරොත්තුවක් තැබිය හැක්කේ බුදුන් දෙසූ අටලෝ දහමත් නියාම ධර්මයන්ටත් අනුව දුෂ්ඨ බලවේගයන්ට සදා කාලීනව වැජඹිය නොහැකි හෙයිනි.
කැලණිය පුණ්‍ය භූමිය
බෞද්ධ ඉතිහාසය හා සම්බන්ධ සුවිශේෂී සිද්ධස්ථානයක් ලෙස කැලණිය රජමහා විහාරය හැඳින්විය හැක. කැලණිය නම් වූ භූමිය, පුණ්‍ය භූමියක් ලෙස බෞද්ධයින්ගේ ගරුබුහුමනට පාත්‍ර වන්නේ බුදුන්ගේ ලංකාගමනය හේතුවෙනි. වත්මන් කැලණි රජමහා විහාරය පිහිටා ඇති භූමියට බුදුන් වහන්සේ වැඩමකොට කැලණියේ නා රජවරුන් අතර මැණික් පුටුවක අයිතිය සම්බන්ධයෙන් ඇති වන්නට ගිය මහා යුද්ධය වළක්වා එම නා රජුන් ධර්මයේ පිහිටවූ බව බෞද්ධ ඉතිහාසයේ ලියැවී ඇත.
කැලණි පින් බිම ඓතිහාසික, ආගමික, සංස්කෘතික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමියකි. කැලණි විහාරය අසලින් ගලායන කැලණි ගඟ ද ඉතාමත් වැදගත්කමක් උසුලන සිව්මහා ගංගාවන්ගෙන් එකකි. මේ පින් බිමට පා තබන ඕනෑම බෞද්ධයෙකුට එම පින් බිමේ ඇති අපූර්වත්වය විඳගත හැක. අනුහස් බහුල පින් බිමක් ලෙසත් කැලණි විහාර භූමිය ප්‍රසිද්ධය.
පොහෝ දිනවල මෙම පුණ්‍ය භූමිය සිල් සමාදන්වන උපාසක උපාසිකාවන්ගෙන් මෙන්ම අනෙකුත් බැතිමතුන්ගෙන්ද පිරී ඉතිරී යයි. මෙම භූමියට පැමිණෙන බෞද්ධයෙක් විහාරයට, චෛත්‍යයට මෙන්ම බෝ සමිඳුන්ටද මල්, පහන්, සුවඳදුම් පූජා නොකර මෙම භූමියෙන් පිට වන්නේ නැත. පන්සල් භූමියට ඇතුලුවනවිටම තෙල්, මල්, පහන්, සුවඳ දුම් විකුණන පිරිස් දක්නට ලැබේ. මෙම පන්සල ආශ්‍රිතව ඇති වී තිබෙන ස්වයං රැකියා ද බොහෝමයකි.
අයෙක් මෙහි බෝධි පූජා ද තබයි. දේවාල මන්දිරයේ විෂ්ණු කතරගම ආදි දෙවිවරුන්ට ද පුද පූජා කිරීම සිදු වේ. විලාසිතාවකට පන්සල් යන පිරිස් ද නැතුවා නොවේ. ඔවුන්ගේ අරමුණ කුමක් වුවත් පන්සලකට යෑම හොඳ දෙයක් ලෙස සමාජය සලකයි.
කැලණිය පින් බිම වන්දනා කිරීමට විශේෂ ගාථාවක්ද තිබේ.
ආයාචනාය මණිඅක්ඛි මහෝරගස්ස
යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං
කල්‍යාණී චෙතිය මහං සිරසා නමාමි
උපන් දා සිට කරපු පව් නැති වෙද වරක් වැන්දොත් කැලණියේ
පව යන සංකල්පය පිළිබඳව බෞද්ධ දර්ශනයේ සඳහන් වුවද, පව් කමා කර ගැනීමක් පිළිබඳව සඳහන් නොවේ. පව් කමා කර ගැනීමක් පිළිබඳව සඳහන් වන්නේ දේවවාදී ආගම්වලය. දේවස්ථානයකට ගොස් තමා කළ පව් පාපොච්චාරණය කළ විට එම පාපයෙන් තමාට ගැලවිය හැකිබව දේවවාදී ආගම් අදහන්නන් විශ්වාස කරන්නකි. තවද, වෙනත් ආගමක සිට තම දේවවාදී ආගමට හැරුණහොත් එම නව ආගම අදහන්නට පටන්ගත් දිනට පෙර සිදුකරන ලද සියලුම පව්වලට දෙවියන් වහන්සේ සමාව දෙන බව එම ආගම්වල කියැවේ. මනුෂ්‍ය ඝාතනයක් හෝ වේවා, සොරකමක් ආදි අනෙකුත් පවක් වේවා ඒ ආගම්වලට අනුව ක්ෂණයකින් අහෝසි වී යයි. මෙය තර්කානුකූල බුද්ධියෙන් බැලූ විට සිදු විය නොහැක්කකි. බුදු දහම අදේවවාදී ආගමක් ලෙස දේවවාදී ආගම්වලින් වෙනස්වන්නේ එනිසාය.
බුදු දහම අදහන්නන් විසින් සිදු කරනු ලබන පව්වලට සමාව දීමට බුදුන් වහන්සේට නොහැකි බව උන්වහන්සේ පැහැදිළිවම වදාල සේක. මනුෂ්‍යයෙක් ලෙස උත්පැත්තිය ලැබුවහොත්, පෙරකළ පවක් ඇත්නම්, බුදු කෙනෙකුන් වුවත් එය පල දෙන බව බුදුන්ගේ ජීවිතය දෙස බැලීමේදී වැටහේ. බුදුන්ගේ ජීවිතයේ අවසාන කාලයේ සූකර මද්දව නම් ආහාරය වැළඳීමෙන් අනතුරුව බුදුන් වහන්සේ දරුණු ලෙස රෝගාතුර වීමෙන් පසක් වන්නේ බුදුබව ලැබුණද, පෙර කළ යම් පවක් වේ නම් එයට විපාක විඳිය යුතු බවය.
පවක් කළ හොත් ගැලවෙන්නට බුදු කෙනෙකුට වුවත් නොහැකිය. පව එතරම් බලවත්ය. එනිසයි බුදුන් දේශනාකොට වදාළේ පවින් වැළකෙන ලෙස. “පව් කළාට කම් නෑ, මා හට වන්දනා කිරීමෙන් ඒ සියළු පව් නැති වී යන්නේය” යැයි උන් වහන්සේ කිසි දිනෙක නොවදාළහ. බුදුන් වන්දනා කිරීම ඇතුළු පුණ්‍යක්‍රියාවන්හි යෙදීමෙන් පින් රැස්කර ගැනීමට බෞද්ධයාට හැකිවනවා මිසක කළ පව්වලින් ගැලවීමට කිසිවිටෙක ඒවා ඉවහල් වන්නේ නැත.
බුදු දහමේ ඇති මේ ඉතා වටිනා සංකල්පය වර්තමානයේ බෞද්ධයින් වරදවා වටහා ගෙන ඇති බව පෙනෙන්නට ඇත. ඔවුහු බුදුන් දෙසූ ධර්මය පසෙකලා මිත්‍යා දෘෂ්ටීන් පසුපස හඹායති. මෙවන් අසිරිමත් දහමකට ඔවුන් උරුමකම් කීමට පින්කර තිබුණද, මිත්‍යා දෘෂ්ටිය පසුපස හඹා යෑම නතරකොට නැත. මේ මිත්‍යා දෘෂ්ටින් සම්පූර්ණයෙන්ම බුදු දහමට පටහැනිය.
“උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ” , කැලණි විහාරයේ වැදගත්කම පිළිබඳව ඉතාමත් භක්ත්‍යාදරයකින් රචනාකොට ඇති මෙම කවි කොටස බුදු දහම පිළිබඳ වැරදි අර්ථ කථනයක් ලබා දෙනබව මාගේ අදහසයි. තවමත් අප සමාජයේ සමහර බෞද්ධයින් මෙය විශ්වාස කිරීමට පෙළඹී ඇත. සමහරෙකුට අනුව, “ඕන තරම් පව් කළාට කමක් නෑ, බැරි වෙන කාලෙට කැලණිය වැඳගන්නවා. පව් ඔක්කොම නැති වෙනවා ඒ පින් බිමේ අනුහසින්”.
ඒ පින් බිම අනුහස් පිරි භූමියක් බව සැබෑව. නමුත්, බුදුන් දෙසූ ධර්මයට පටහැනිව, ඒ පින්බිමට හැකි වේද මිනිසෙක් කළ පව් සියල්ල අහෝසිකර දැමීමට?
මේ එක් උදාහරණයකි. වර්තමානයේ බෞද්ධයින්ගෙන් බහුතරය බුදු දහම පිළිබඳව මෙවන් වැරදි මත දරයි. තමා කළ කර්මය අනුව විපාකය ද එලෙසින්ම ලැබෙනු ඇත. අපි කළ පව් අපි කළ පින් අපටමය. ඒවා කිසිවෙකුටත් ඇති කළ හෝ නැති කළ නොහැක.
සෑබෑ බුදු දහම ඉගැන්වීමටත් ඉගෙන ගැනීමටත් කාලය පැමිණ ඇත.
ඡායාරූප පංචමී හේවාවිසෙන්ති