පංචමී හේවාවිසෙන්ති විසිනි.
රාජපක්ෂවරුන් සහ චීනය අතර තිබෙන්නේ ගහට පොත්ත මෙන් සබඳතාවයකි. එක්තරා සමාජ මාධ්‍ය පෝස්ටුවක සඳහන් වූ පරිදි “චීනය ඇල්ලුවේ එක පවුලකි. රටම සාක්කුවේය”. මෙය හුදෙක් හාස්‍යජනක අන්දමින් සැකසුණු සමාජ මාධ්‍ය පෝස්ටුවක් වුවද, මෙහි ඇත්තේ ඉතා ගැඹුරු අර්ථයකි. මෙය මුලුමනින්ම සත්‍යයක් බව බහුතර ජනතාවට වැටහෙන්නේ නැත. ඒ තවමත් බහුතරයක් “රාජපක්ෂ වන්දනාවේ” යෙදෙන බැවිනි. “රට රැක ගන්න ඉන්න එකම පවුල”, “රාජපක්ෂවරුන් තමයි ශ්‍රී ලංකාව බේරා ගන්න ඉන්නේ” වැනි ආකල්ප ජනතාවගේ රුධිරයටම කා වද්දන්නට රාජපක්ෂවරුන්ගේ කුලී මාධ්‍ය සහ සමාජ මාධ්‍යකරුවන්ට හැකියාව ලැබී ඇත. රාජපක්ෂවරුන්ගෙන් රටට සිදු වන හානිය සහ බලපෑම ඇස්පනාපිටම දකින්නට ලැබුණත් ඒවා වසංගමින් තවතවත් “රාජපක්ෂ වන්දනාපාඨ” ජනතාවගේ මනසට කා වද්දන්නට මෙම මාධ්‍ය කරුවන් සමත්ය.

තිත්ත ඇත්ත නම් රාජපක්ෂ හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හිමිකරුවන්ගෙන් බොහෝ දෙනෙකුට චීන ඒජන්තවරුන් හරහා වැටුප් ලැබීමයි. රාජපක්ෂවරුන් ඇස් පනාපිට මේ භූමිය චීනයට විකුණා දමමින් කොමිස් කුට්ටි පිටින් ගිල දමමින් තවත් පරම්පරා ගණනකට කිසි රැකියාවක් නොකර ගෙදරටම වී සිටිමින් සියලු සැප සම්පත් සහිතව ජීවත් වීමට තරම් මුදල් උපයමින් (අදටත් රාජපක්ෂවරුන්ගෙන් බොහෝ දෙනෙක් කිසිදු රැකියාවක් නොකර අති සුඛෝපභෝගී ජීවිත ගත කරන බව නොදන්නා කෙනෙක් නැත ) සිටින වග යටපත් කරන්නටත්, රාජපක්ෂවරුන් අන්තයටම අසමත් වී ඇති බව ඇස්පනාපිට පෙනෙන්නට තිබියදීත් ඒ සත්‍ය වසංගන්නටත්, චීනය විසින් ශ්‍රී ලංකාව උපක්රමශීලීව අත්පත් කරගන්නට දරන වෑයම ජනතාවගෙන් හංගා සුදු හුණු ගෑමටත් චීන ඒජන්තවරුන්ගෙන් වැටුප් ලබන මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය හසුරුවන්නන් දිවා රෑ නොබලා වෙහෙසෙන විට චීනය විසින් හෙමින් හෙමින් රාජපක්ෂලාගේ උපකාරයෙන් ශ්‍රී ලංකාව තම යටත් විජිතයක් බවට පත් කරගනිමින් සිටින්නේ බඩ ගෝස්තරය රැක ගන්නට දත කන රාජපක්ෂලා, ඔවුන්ගේ අතකොළු වන දේශපාලන හෙංචයියන් සහ මේ සියළු සත්‍යය වසන් කිරීමට චීනයෙන් පඩි ගන්නා මාධ්‍ය කරුවන්ගේත් උපකාරයෙන්ය.
චීනයට ශ්‍රී ලංකාව ලේ හැලීමකින් තොරව අත්පත් කරගන්නට මෙකී ජඩ මාධ්‍යකරුවන් උපකාර කරද්දී ඔවුන්ටත් චීන ඒජන්තවරුන් හරහා කුට්ටි පිටින් මොනර කොළ ලැබෙන්නේ චීනයේ පරමාර්ථය ඉටු කරන්නට ඒ දේශද්‍රෝහීන් මුදලට පෙරේතකමින් රට පාවා දෙන නිසාය.
ද්විත්ව පුරවැසිකම හිමි රාජපක්ෂලාට මේ රටට මොන හෙනේ ගැහුවත් මොකද? ඔවුන්ට කවදා හරි මේ රට චීන කොලනියක් වූ දාට යන්නට ඇමරිකාව තිබේ. ඒත් බහුතර පොදු ජනතාවට සිදු වන්නේ කුමක්ද? ඔවුන්ට ඇත්තේ මේ රට පමණි. ඔවුන්ට උරුම ශ්‍රී ලංකාවේ පුරවැසිකම පමණි.
ශ්‍රී ලංකා භූමි භාගයේ පිහිටි චීන වරාය නගරය හෙවත් පෝට් සිටිය, චීනය ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගැනීමේ පළමු තුරුම්පුව මෙන්ම පළමු අදියරද වන්නේය. මෙම යටිකූට්ටු ‘ඩීල් එකේ’ සැබෑ තොරතුරු රාජපක්ෂ හිතවාදී මාධ්‍ය විසින් වසංගන්නේ අනාගතයේ අපේ දේශය පරාධීන වන බව සහ චීනයේ යටත් විජිතයක් වන බව නොදැන නොවේ.
ප්රභාකරන් යුද්ධ කළේ ශ්‍රී ලංකාවේ උතුරු කොටස තම පාලනයට යටත් කොට වැජඹෙන්නට මිස සැබෑ වශයෙන්ම අහිංසක දෙමළ ජනතාවගේ විමුක්තිය උදෙසා නොවේ. අන්තිමට ඒ උන්මත්තක ත්‍රස්තවාදියාගේ ආත්මාර්ථකාමී අරමුණ සාක්ෂාත් කර දීමට ගොස් අහිංසක දෙමළ ජීවිත නම් කීයක් අහිමි වුණාද? අද දුක් විඳින්නේ ප්රභාකරන්ට වෙනම රාජ්‍යයක් හැදීමට උඩගෙඩි දුන් දේශපාලකයින්වත් ප්‍රභූ වරුන්වත් නොවේ. අපේම අහිංසක ජනතාවය.
කෙසේ වෙතත් ප්රභාකරන් ගෙන ගියේ රුධිරය හැලීමෙන් භූමිය අත්පත්කර ගැනීමේ අරගලය වුවද, වර්තමානයේ චීනය ඊට වඩා උපක්රමශීලීව ලේ හැලීමකින් තොරව ජනතාවගේ කැමැත්ත ද සහිතව ශ්‍රී ලංකා භූමිය අත්පත් කර ගැනීමේ කර්තව්‍යයේ යෙදෙමින් සිටින්නේය.
“ජනතාවගේ කැමැත්තෙන්” ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත් කිරීමේ වගකීම පැටවෙන්නේ රාජපක්ෂලාගේ අතකොළු සහ රාජපක්ෂලාගේ මාධ්‍ය ආයතනවලටය. මේ මාධ්‍ය මඟින් දිවා රෑ නොබලා රාජපක්ෂ ගුණ ගයමින් වන්දිභට්ටකම් කරමින් ජනතාවගේ මනසට බලහත්කාරයෙන් කාවද්දන්නේ “රාජපක්ෂලා රටට හිතැති පිරිසක්” බවත් “රට රැක ගන්නට උවමනාව තිබෙන්නේ රාජපක්ෂලාට පමණක්” බවත් ය. එහෙයින්, රාජපක්ෂලා විසින් චීනයට ශ්‍රී ලංකාව විකුණන්නේ ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් බව ඒත්තු ගන්වන්නට මේ මාධ්‍යකරුවෝ කටයුතු කරමිනි සිටිති. “රට රැකගන්නට සිටින රාජපක්ෂලා ශ්‍රී ලංකාව චීනයට විකුණා දැමුවත් ඒ කරන්නේ රට රැකගන්නට මිසක් වෙන දෙයකට නොවේ” ය යන්න අහිංසක නූගත් ජනතාවත් ඉස්මුදුනෙන් පිළිගන්නා තත්ත්වයට පත් කරන්නට මේ මාධ්‍යකරුවන් සමත්ය. චීන ඒජන්තයින්ගේ මුදලින් නඩත්තු වන සමහර මාධ්‍ය ආයතන මෙම කර්තව්‍යයේ යෙදෙමින් සිටින්නේ හෘදය සාක්ෂියට අනුකූලව දැයි සැකයෙකි.
පසුගියදා ශ්‍රී ලංකාවට චීනයෙන් ගෙන ආ කොවිඩ් 19 එන්නත් තොගය නිසි ප්‍රමිතියකට නිපදවා නොමැති හෙයිනුත් ඒ පිළිබඳව චීන නිෂ්පාදකයාගෙන් සිදු කරන ලද විමසීමවලට ඔහු පිළිතුරු ලබා නොදීම හේතුවෙනුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් ලොව විවිධ සෞඛ්‍ය සංවිධානවල අනුමැතිය හිමි නොවීම හේතුවෙනුත් චීන කොවිඩ් එන්නතට ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි නොවීය.චීන එන්නතට අවසරය හිමි නොවීම හේතුවෙන් එහි සභාපතිපතිවරයා ඉවත්වන තැනට කටයුතුකොට දේශපාලන හෙංචයියෙක් එම තනතුරට පත්කර චීන කොවිඩ් එන්නත් තොගයට “හොර” අවසරයක් ලබා දෙන ලදී. මෙය කාගේ උවමනාවට සිදු වූවා දැයි පැහැදිළිය. “චීනෙන් ගෙන්වනවානම් වස හරි කමක් නෑ අනුමැතිය දිය යුතු” තත්ත්වයට දැන් ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියද පත් ව සිටීම අනාගතයට සුභ ලකුණක් නොවේ. චීන බාල එන්නත්වල පමණක් නොව, ශ්‍රී ලංකාව චීන බාල ඖෂධවල තිප්පොලක් වන්නටද බැරි නැත. ඔවුන්ගේ අත්හදා බැලීම්වල ගොදුරු බවට ශ්‍රී ලාංකිකයින් පත් වීමටද බැරි නැත. ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරිය පත්ව ඇති තත්ත්වය අති භයානකය. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධ පිළිබඳව විශ්වසනීයත්වයක් නැති වන්නට බොහෝ ඉඩකඩ ඇත.
ශ්‍රී ලාංකිකයින්ට ලබා දෙන්නට යන චීන කොවිඩ් එන්නත ප්‍රමිතියෙන් තොර බවට විද්වතුන් පවසද්දී, එය ජනතාවට ලබා දෙන්නට ආණ්ඩුවට සිදු වී තිබෙන්නේ කාගේ බලපෑමෙන්ද?
චීනය යම් රටකට අත පෙව්වොත් ඒ රට ඉවරයි
“චීනය යම් රටකට අත පොවන්නට පටන් ගතහොත් එය එම රටේ අවසානයයි” යන්න අන්තර්ජාතික තලය තුල ජනප්‍රිය කියමනකි. එය නිකම්ම නිකන් කට කහනවාට කිවූ කියමනක් නොව පසුගිය දශක ගණනාවක් පුරා චීන කොමියුනිස්ට් පක්ෂය විසින් විවිධ රටවල් ලේ හැලීම්වලින් සහ ලේ හැලීමකින් තොරව ආක්‍රමණය කර චීනයේ යටත් රාජ්‍යයන් බවට පත්කොට එම රටවල සම්පත් සූරා කමින් එම රටවල සංස්කෘතිය සහ ආගම් විනාශ කරමින් ඒ රටවල් විනාශ මුඛයට ඇද දමමින් සිටින ආකාරය පදනම් කරගෙන කියූ කියමනකි.
චීන රජයේ සැහැසිකම් සහ කුරිරුකම්වලට එරෙහිවීම නිසා තම රට අහිමිව වර්තමානයේ ඉන්දියාවේ දේශපාලන රැකවරණ සහිතව ජීවත්වන සමාජ ක්‍රියාකාරිකයෙකු වන ටෙන්සින් සුන්ඩූ ටී වී කුවේණි යූ ටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මේ අයුරින් අදහස් දැක් වූයේය, “කතාවක් සමාජයේ මුල් බැසගෙන තියෙනවා චීනය යම් රටකට අඩිය තැබුවොත් ඒ රටේ පාලනය කොහොමහරි චීනය යටතට ගන්නවා කියන එක. නේපාලය මේකට හොඳ උදාහරණයක්. නේපාලය සහ ඉන්දියාව අතර හොඳ සම්බන්ධයක් තියෙනවා. දේශපාලනමය වශයෙන් රටවල් දෙකක් වුවත් ඔවුන්ගේ සංස්කෘතිය එකයි. නමුත්, අද වනවිට නේපාලයේ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් චීනයට මුදලට විකිණී හමාරයි. ඉතින් නේපාලය සම්බන්ධ තීරණ ගන්නේ මෙවන් දූෂිත නිළධාරීන්. ඒ හේතුවෙන් විඳවන්නේ නේපාල ජනතාව. අද වෙනකොට නේපාලයේ චීන මුදල් වලංගුයි. නේපාලයට ඕනෑම වේලාවක ඕනෑම චීන ජාතිකයෙකුට ඇතුළු වීමටත් සංචාරය කිරීමටත් කිසිදු බාධාවක් නෑ. ඒ ඔවුනට ටිබේටයට ඒමට අවසර තිබීම හේතුවෙන්. නේපාලය වගේම සමහර අප්‍රිකානු රටවලුත් චීන ග්‍රහණයට හසුවෙලා තියෙන්නේ. චීනය ඒ රටවල තිබෙන වටිනා ඛණිජ සම්පත් කොල්ල කමින් සිටිනවා”.
“මේ වන විට ටිබේටයේ ටිබෙට් ජාතිකයින් සිටින්නේ මිලියන 6ක් පමණයි. මිලියන 12ක් ඉන්නේ චීන ජාතිකයින්. ටිබේටය තුල ජීවත්වන චීන ජනගහනය දෙගුණයක් වෙලා මේ වෙනකොට. චීනය විසින් සමස්ත ටිබේටයම පාලනය කිරීමට චීන හමුදාව, පොලීසිය සහ චීන නිළධාරීන් පත් කරලා තියෙනවා විතරක් නෙවෙයි, චීනය දැන් ටිබේටය භාවිතා කරනවා කැණීම් කටයුතු කරන්නත්. මේ කැණීම් මඟින් ඔවුන් ටිබේටයේ තිබෙන වටිනාම ඛණිජ සම්පත් ටික සූරා කාලා මේඩ් ඉන් චයිනා නිෂ්පාදන කර්මාන්තශාලාවල භාවිතයට චීනයට රැගෙන යනවා. ඒක නිසා තමයි මේඩ් ඉන් චයිනා නිෂ්පාදන ඒ තරම් ලාභ. ඒකට හේතුව තමයි ස්වභාවික සම්පත් සියල්ලම නොමිලේ ටිබේටයෙන් වගේම නැගෙනහිර තුර්කිස්තානයෙන් සහ මොන්ගෝලියාව ආදි රටවලින් කිසිදු වියදමක් නැතිව ලබා ගන්න පුළුවන් වීම. චීනය විසින් ආක්‍රමණය කරන ලද රටවල් තමයි වර්තමාන සමස්ත චීන දේශයෙන් සියයට 60කටම අයත් වන්නේ. චීනයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් බිලියන 9.6 යි. එයින් සියයට 60ක්ම චීනය විසින් ආක්‍රමණය කරලා අල්ලාගත් රටවල් වලින් තමයි සමන්විත වෙන්නේ. ඒ රටවල තියෙන වටිනා සම්පත් සියල්ල චීනය විසින් බලහත්කාරයෙන් කොල්ල කනවා ලාභ මේඩ් ඉන් චයිනා නිෂ්පාදන හදලා ලෝකෙටම විකුණන්න”
චීනය ලේ හැලීමකින් යුත් බලහත්කාර ආක්‍රමණයකින් හෝ වේවා, උපක්රමශීලීව රටක පාලනයට ඇතුලු වීම හේතුවෙන් රටකට ඇති විය හැකි භයානක තත්ත්වය පිළිබඳව දළ අදහසක් ලබා දෙමින් සුන්ඩූ පවසන්නේය.
සැබවින්ම චීනයේ අති භයානක සටකපට දේශපාලනය ගැන ශ්‍රී ලංකාවේ ජනතාව දැනුවත් ද? චීන ඒජන්තයින් විසින් ශ්‍රී ලාංකීය ජනතාවට එම සත්‍ය වසන් කිරීම වෙනුවෙන් මාධ්‍යයට අල්ලස් ලබා දෙන බවත් ජනතාව නොදනිති. චීනයට අවශ්‍ය වී ඇත්තේ තම බලය ලොව පුරා පතුරුවා ලොව බලවතා වීමට බව ශ්‍රී ලාංකිකයින්ගෙන් බොහෝ දෙනා දන්නවා වුවද එම බලය පැතිරවීමට චීන කොමියුනිස්ට් පක්ෂය සිදු කරනු ලබන ප්රජාතන්ත්ර විරෝධී සැහැසිකම් පිළිබඳව මෙන්ම සමාජ ආචාර ධර්මයන්ට පටහැනි උපක්‍රම පිළිබඳව ඔවුනට දැනුමක් නොමැතිවාට සැක නැත.
චීනයට විරුද්ධ එකදු තොරතුරක් වර්තමානයේ කිසිදු ප්‍රධාන මාධ්‍යයක පළ වනවා ඔබ දැක තිබේද? එසේ දැක නැතුවාට සියයට දෙසියයක් විශ්වාසය. එයට හේතුව එම මාධ්‍යවේදීනට ලබා දෙන මූල්‍යමය තෑගිබෝග පමණක් නොව, (කොරෝනා වසංගතය පැමිණීමට පෙර ) ඔවුනට ලබා දෙන විදේශ සංචාර සහ ඒවා හා සම්බන්ධ නොයෙකුත් ලාබ ප්‍රයෝජන (දිව පිනවන ආහාරපාන පමණක් නොව චීන කතුන් විසින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ ඉන්ද්‍රියන් පිනවීමද සිදු කරයි )
ශ්‍රී ලාංකීය මාධ්‍යකරුවන්ගෙන් බොහෝ දෙනෙකුට දලායි ළාමා භීතිකාවක් පවතී. බෞද්ධ රටක් යැයි දිවා රෑ උදම් අනන ශ්‍රී ලංකාවේ එකදු රාජ්‍ය හෝ පෞද්ගලික මාධ්‍යයක දලායි ළාමා නැමති බෞද්ධ භික්ෂුව පිළිබඳව කෙටි පුවත්පත් වාර්තාවක් හෝ තත්පර ගණනක රූපවාහිනි ප්‍රවෘතියක් හෝ පළකරවා ගත නොහැක. එයට හේතුව එම මාධ්‍යකරුවන් චීනයට ඇති ගැති කම සහ චීන මුදලට ගිජු කමය. ඔවුනගෙන් බොහෝ දෙනෙකුට ප්‍රතිපත්තියක් නැත. සල්ලි හම්බ වෙනවා නම් චීනා එක්ක ගිහින් බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන්නට ලෑස්තිය. (දැන් කරන්නේත් ඊට සමාන දෙයකි ).
චීනය ටිබේටය ආක්‍රමණය කිරීම
චීන කොමියුනිස්ට් පක්ෂය ආගම ධනවාදීන්ගේ උපකරණයක් ලෙස සලකනු ලබයි. එහෙයින් චීනයේ පාලකයින් වන චීන කොමියුනිස්ට් පක්ෂය අනාගමිකය. බුදුන් වැඩසිටි සමයේ චීන රාජ්‍යය වෙත බුදු දහම ගෙන ගියද, එය චීන රජ පරපුරේ අවසානයත් සමඟ අවසන් වූ අතර, මාවෝ සේ තුං නැමැති මිනීමරු පාලකයාගේ ආගමනයත් සමඟ බිහිවූ චීන කොමියුනිස්ට් පක්ෂය (වර්තමානයේ චීනයේ පවතින්නේද මෙම පාලනය වන අතර වර්තමාන පාලකයින් ද චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින්ය ) බුදු දහම චීන ජනතාවගෙන් ඈත් කළ අතර, චීනය නිරාගමික දේශයක් ලෙස නම් කරන ලදී.
නිරාගමික මිනීමරු සහ ම්ලේච්ඡ චීන කොමියුනිස්ට් පාලකයින් 1949-1950 කාල වකවානුවේ බෞද්ධ රාජ්‍යයක් වන ටිබේටය ඉතාමත් කුරිරු අන්දමින් ආක්‍රමණය කර අහිංසක ජනතාවට කුරිරු වධ හිංසා පමුණුවමින්, මරා දමමින්, ටිබේට් බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින්, ස්වාමීන් වහන්සේලා ඝාතනය කරමින් ටිබේටයේ බෞද්ධ සංස්කෘතිය විනාශ කර දැමීමට කටයුතු කළහ. ටිබේටයේ ආධ්‍යාත්මික නායකයා වන දලායි ළාමා ජීවිතාරක්ෂාව පතා ඉන්දියාවට පළා ගිය අතර, අද වනතුරු උන්වහන්සේට ටිබේටයට යෑමට චීන පාලකයින් ඉඩ දෙන්නේ නැත. ටිබේටය වර්තමානයේ පවතින්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේය. එය නිදහස් නිවහල් රටක් නොවේ. වර්තමානයේ තම ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව අහිමි වූ ටිබේට් බෞද්ධයෝ චීනයේ කුරිරු පාලනයට යටත්ව පීඩිත ජීවිත ගත කරමින් සිටින්නෝය.
ටිබෙට් බෞද්ධයින්ගේ නිවෙස්වල දළායි ළාමාගේ පිංතූරයක්වත් එල්ලීම චීන රජයෙන් නීතියෙන් තහනම් කොට ඇත. දළායි ළාමාගේ නම කීමද තහනම්ය. දලායි ළාමා කළ වරදකට නොවේ. චීන කොමියුනිස්ට් පක්ෂය ටිබෙට් බෞද්ධයින්ට එසේ කරන්නේ ඔවුන්ගෙන් දලායි ළාමා සහ බුදු දහම ඈත්කිරීමටය. චීනය දැන් එයම ශ්‍රී ලංකාවටත් කරන්නේ ඉතාමත් සූක්ෂ්ම අන්දමිනි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මාධ්‍යවල දළායි ළාමා පිළිබඳව කිසිදු තොරතුරක් පළ විය නොහැක. චීනය අපේ රටේ මාධ්‍යකරුවන්ට දමා ඇති නීතිය එයය. එය සාමාන්‍ය ජනයා දන්නේ නැත. මීට කලකට පෙර දළායි ළාමාගේ ජීවිත කතාව සහ චීනය ටිබේටයේ බෞද්ධ සංහාරයක් සිදු කළ ආකාරය පිළිබඳව ලිපි මාලාවක් පළ කිරීමට රටේ සුප්‍රසිද්ධ පුවත්පතක් එකඟ වූ අතර එම ලේඛකයාට ලියන්නට ලැබුණේ එකම එක සතියක එකම ලිපියක් පමණි. පුවත්පතේ එම ලිපිය පළවූ වහාම චීන ඒජන්තයින් එම පුවත්පතත් සමඟ කිසියම් “ඩීල් එකක්” දැම්මා කියා ආරංචියක් පැතිරුණි. ඒ සමඟම මුලින් එම ලිපි මාලාවට කැමැත්ත දුන් පුවත්පත් කතුවරයාම ඊළඟ දවසේ ලේඛකයා අමතා එම ලිපි මාලාව පළකළ නොහැකි බව පවසා ඇත. මේ එක් උදාහරණයකි.
ඉතාම මෑතක ශ්‍රී ලංකාවේ පවත්වන්නට යෙදුණු බෞද්ධ සම්මේලනයක ආරාධිත දේශකයෙකු ලෙස දලායි ළාමා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර, ඒ පිළිබඳව කුඩා පුවත්පත් වාර්තාවක් පළ කරවා ගන්නට ගිය විට පුවත්පත් බොහෝමයක් එය පළකළ නොහැකි බව පවසා ඇත. හේතුව පැහැදිළිය. “මේවා දානවට උඩින් කැමති නෑ”. උඩ කියන්නේ කව්දැයි පැහැදිළිය.
චීනයේ මාධ්‍ය නිදහස නැත. ෆේස් බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය ද වට්ස් ඇප් හෝ එවැනි ඇමතුම් සහ පණිවුඩ යැවිය හැකි මෘදුකාංග පහසුකම් නැත. ඒකාධිපති චීන කොමියුනිස්ට් පක්ෂය විවේචනයට චීන ජනතාවට අවසර නැත. චීනය විසින් ආක්‍රමණය කරන ලද හොංකොං රාජ්‍යයේ පවතින්නේද එවැනිම මර්දනකාරී පාලනයකි. නිදහස් ටිබේටයද චීනය විසින් යටත් කරගෙන කෲර පාලනයක් ගෙන යමින් සිටින්නේ ය. මන්චූරියාවට සහ තුර්කිස්තානයට අද සිදු වී ඇති තත්ත්වය අතිශය ඛේදනීයය.
චීනය සෙමින් සෙමින් ඇදී එන්නේ ශ්‍රී ලංකාව දෙසටය. ඇත්තටම කිව්වොත් රාජපක්ෂලා විසින් දැන් ශ්‍රී ලංකාව චීනයට දී හමාරය. තවත් වසර කිහිපයකින් එහි රඟ බලා ගන්නට කාට කාටත් හැකි වේය. බිය විය යුත්තේ ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් වනවාටත් වඩා අනාගමික සහ සත්තු සර්පයින් පවා අමු අමුවෙන් ගිල දමන ම්ලේච්ඡ සහ මර්දනකාරී මිනිස් ගුණයක් ගෑවීවත් නැති “චීන ජාතියක්” මේ උතුම් භූමියේ බහුතරය වනවාටය. බෞද්ධ රටක් වූ ටිබේටයේ, චීන ආක්‍රමණයෙන් පසුව අදවන විට සැබෑ ටිබෙට්වරුන් සිටින්නේ මිලියන 6කි. මිලියන 12ක් සිටින්නේ චීන ජාතිකයින්ය. ශ්‍රී ලංකාවටත් අනාගතේයේ මෙවන් දෙයක් සිදු වේද? රට බේරා ගන්නට වෙන්නේ චීනාගෙන් සහ චීනාට රට විකුණන ද්විත්ව පුරවැසියන්ගෙනි.