සංජය නල්ලපෙරුම විසිනි
හිරේ විලංගුවේ වැටුණු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබා දීම පිළිබඳ උදාහරණ ඉතිහාසයෙන් ඕනෑ තරම් දිය හැක්කේය. එහෙත් අත්අඩංගුවට පත්වූ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව අහිමිවීම සම්බන්ධයෙන් උදාහරණ ලබාදිය හැකි තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් තිබෙන්නේය.
අධිකරණය මගින් වරදකරුවෙකු බවට පත්කළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබා නොදීම ගැන පසුගිය කාලයේදී අවධානය යොමුවූයේ ඒ වන විටත් වරදකරුවකු බවට පත්ව සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන පේ‍්‍රමලාල් ජයසේකරට පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව ලබාදීම නිසාය.
මේ ගැන පාර්ලිමේන්තුවේදී හඬ නැගූ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ චෝදනාංගුලිය එල්ලවූයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන දෙසටය. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද සිදු වන විට මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා කීවේ කතානායකවරයා සුදුසු කතානායක පුටුවට නොව මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිධූරයට වන බවය.
රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව අහිමිවූවා පමණක් නොව දැන් ඔහුගේ මන්ත්‍රී ධුරයද අහෝසිවී ගොසිනි.
මේ දිනවල ඒ සම්බන්ධ යළිත් කතාබහක් ඇතිවී තිබෙන්නේ තවත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම නිසාය. ඒ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාය.
රිෂාඩ් බදියුදීන් එක්වරම අත්අඩංගුවට ගන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවෙකු බව කියමිනි. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සදහන්වූයේ ඔහු ඇමැතිවරයෙක් ලෙස කටයතු කරන කාලයේදී කර්මාන්ත මණ්ඩලයෙන් තඹ ලබාදීම සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.
එහෙත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් හදිසියේම ඔහුව අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීමේ නියෝගයක් ද ලබාගනිමින්ය.
බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව පසුගිය සතියේදී පාර්ලිමේන්තුව රැස්විය. අත්අඩංගුවේ සිටින මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබාදෙන්නැයි ඉල්ලීමක් කළහොත් ඒ සඳහා අවසර ලබා දීම සාමාන්‍ය ක්රමවේදයයි. එහෙත් රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවූයේ වෙනකකි.
තමාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබාදෙන්නැයි ඉල්ලා සිටි විට ඔහුගේ පවුලේ අයට පවසා තිබුණේ පී.සී.ආර්. පරීක්ෂණයක් පැවැත්වීමට නොහැකිවීම නිසා පාර්ලිමේන්තුවට පැමිණිමට අවස්ථාව ලබා දිය නොහැකි බවය.
පසුදා පාර්ලිමේන්තුවේදී මේ ගැන අදහස් මතුවූ විට ආණ්ඩුව පාර්ශවයෙන් මතුකළේ කතානායකවරයාගෙන් මේ සදහා ඉල්ලීමක් කර නොමැති නිසා ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබාදී නොමැති බවය.
පැය විසිහතරක් ඇතුළත තුන්වැනි හේතුවත් ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර කීවේ රිෂාඩ් බදියුදීන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින නිසා ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබාදිය නොහැකි බවය. මේ අයුරින් ආන්ඩු පක්ෂය විසින් එකිනෙකට පටහැනි සහ පරස්පර ප්‍රකාශයන් බදුර්දීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි හේතු වශයෙන් සඳහන් කරන ලදී.
සරත් වීරසේකරගේ ප්‍රකාශය දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වූ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටියේය. මේ ආකාරයට මාස තුනක කාලයක් ඔහු පාර්ලිමේන්තුවට නොපැමිණියහොත්නැ ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසි වන්නේය.
රිෂාඩ් බදියුදීන්ගේ නීතීඥ රුෂ්ඩි හබීබ් මාධ්‍ය වෙත පැමිණ පැවසුවේ මේ දක්වා රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අධිකරණයක් හමුවේ චෝදනා ගොනුකර නොමැති බවය. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීමට කිසිදු බාධාවක් නොමැති බව නීතිපතිවරයා දැනුම්දී තිබෙන බවද නීතීඥ හබීබ් පවසන්නේය.
නීතිපතිවරයාත් එසේ පවසා තිබෙන්නේ නම් ආණ්ඩුව මේ කරමින් සිටින්නේ කුමක්ද යන්න සබුද්ධික ජනතාවට තේරුම් ගැනීම අපහසු නැත. පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය ගැන අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට පිඹුරුපත් සැකසෙන බව පැවසෙන වාතාවරණයක් තුළ සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන්ට පැවරෙන වගකීම සුළුපටු නොවනු ඇත. එසේම එම වගකීම ඉටු කිරීමට යන මගද එතරම් සුමට නොවනු ඇත.