සටහන සහ ඡායාරූප පංචමී හේවාවිසෙන්ති
කහ බත් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවුවද පැණි කහ බත් හෙවත් සර්දා අපේ රටට ආගන්තුක කෑමකි. සර්දා යනු බත්වලින් සකසන අතුරුපසකි. විශේෂයෙන්ම රමසාන් වැනි උත්සව අවස්ථාවන්හිදී අමුත්තන් සඳහා සර්දා පිළිගන්වනු ලබයි. ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය නොවන සර්දා ඉන්දු-පාකිස්තාන කලාපයේ විශේෂ උත්සව අවස්ථා සඳහා සකසනු ලබන ජනප්‍රිය අතුරුපසකි.
මෙම අතුරුපසට සර්දා යන නම ලැබී ඇත්තේ පර්සියානු භාෂාවෙන් කහ පාටට ‘සර්ද්’ යනුවෙන් ව්‍යවහාර වන නිසාය. මෙය ඉතා ඉපැරණි අතුරුපසක් වන අතර, සර්දා ඉන්දියාවට හඳුන්වා දී ඇත්තේ මුස්ලිම් ආක්රමණිකයින් විසිනි. සර්දා රසයට ප්‍රිය කළ ඉන්දියාවේ අවසන් මෝගල් අධිරාජ්‍යයා සිය රාජකීය භෝජන වට්ටෝරුවටද සර්දා එක්කර තිබූ බව සඳහන් වේ (ද හින්දු පුවත්පත).
සර්දා සඳහා එක්කර ගනු ලබන මාවා හෙවත් කෝයා ද ශ්‍රී ලාංකිකයින්ට තරමක නුපුරුදු නමක් විය හැකියි. කෝයා යනු කිරිවල වතුර ඉවත්කර ලබා ගන්නා ද්‍රව්‍යයකි. මෙය නිවසේදී ද සාදා ගත හැකියි. ඒ සඳහා කිරි ලීටරයක් භාජනයකට දමා මඳ ගින්නේ විනාඩි 40 ක් පමණ හැඳි ගාමින් කිරිවල ඇති වතුර සම්පූර්ණයෙන් ඉවත් වනතුරු පිස ගත යුතුය. මෙය කාලය වැයවන කටයුත්තක් වුවද, පිරිසුදු රසවත් මාවා ලබා ගත හැක.

සර්දා බතේ වර්ණවත් කහ පැහැය ලබා ගන්නේ එයට ඉන්දියානු කහ (කේසර්) හෙවත් කුංකුම සාරය එක්කිරීමෙනි. කුංකුම කහ ලොව මිල අධිකම කුළු බඩු වර්ගය ලෙස සැලකේ. කුංකුම මිල අධික වීමට හේතුව එහි ඇති ඖෂධීය ගුණය මෙන්ම ඒවා ලබා ගැනීමට අපහසු වීමයි.

සර්දා සැකසීමට භාවිත කරන්නේ බාස්මතී වැනි සුවඳවත් හාල් වර්ගයකි. වර්තමානයේ බොහෝ දෙනෙකු සර්දා සකසන්නේ බාස්මතී සහලෙනි. එමෙන්ම තායි ජැස්මින් සහලෙන්ද සර්දා සාදා ගත හැක. බාස්මතී සහලෙන් මෙන්ම ශ්‍රී ලාංකීය දේශීය සහල් වර්ගයක් වන සුවඳැල් සහලින් සැකසූ සර්දා ද බාස්මතී සර්දා මෙන් රසයෙන් මෙන්ම සුවඳින් ද අඩුවක් නැත.


අවශ්‍ය ද්‍රව්‍ය
සුවඳැල් හාල් ග්‍රෑම් 250ක්
එළඟි තෙල් මේස හැඳි 5ක්
කුංකුම ස්වල්පයක්
සීනි ග්‍රෑම් 125ක්
මාවා ග්‍රෑම් 125ක්
සිහින්ව කපාගත් ආමන්ඩ් මේස හැඳි 4ක්
සිහින්ව කපාගත් කජු මද මේස හැඳි 4ක්
මුද්‍රස්පලම් මේස හැඳි 4ක්
කරද මුංගු 4ක්
ලුණු ස්වල්පයක්
සාදාගන්නා ක්‍රමය
භාජනයක් ලිප තබා රත්වන විට එළඟි තෙල් එක්කරන්න. තෙල් රත් වූ පසු එනසාල්, මුද්‍රස්පලම්, සිහින්ව කපාගත් ආමන්ඩ්, කජු මද සහ කුංකුම (කේසර්) දමා දමා විනාඩි 3ක් පමණ බැද ගන්න. ඉන්පසු සෝදා ගත් සුවඳැල් හාල් එක්කර බත ඉදෙන්නට අවශ්‍ය ප්‍රමාණයට වතුර එක්කරන්න. වතුර වැඩි වුවහොත් බත බෙරි වී සර්දා පදම ලබා ගත නොහැකි නිසා වතුර එක්කිරීමේදී ප්‍රවේසම් වන්න.
දැන් මෙයටම ලුණු ස්වල්පයක් එක්කරන්න (තේ හැඳි කාලකටත් අඩු ප්‍රමාණයක්)
මෙහිදී බත සම්පූර්ණයෙන්ම ඉදීමට පෙර සීනි එක්කළ යුතු නිසා බත සියයට අනූවක් පමණ ඉදුණු පසු සීනි එක්කර හැන්දකින් හොඳින් කලවම් කරන්න. මෙහිදී බත් ඇට කැඩී නොයන සේ සීනි කලවම් කළ යුතුය. බත ඉදෙනවාත් සමඟම සීනිද සෙමෙන් සෙමෙන් දියවී බතට උරා ගනී.
බතට උඩින් මාවා එක්කර බත වසා බත සම්පූර්ණයෙන් ඉදවා ගන්න.
බත ඉදුණු පසු ලිපෙන් බාගෙන හැන්දකින් නැවතත් ප්‍රවේශමෙන් කලවම් කරන්න.
ආමන්ඩ්, මුද්‍රස්පලම් සහ කජු දමා සරසා පිළිගන්වන්න.