සටහන සහ ඡායාරූප පංචමී හේවාවිසෙන්ති
තේ යනු දවසේ ඕනෑම අවස්ථාවක පානයට ගත හැකි විඩාව දුරලන පානයකි. තේ, පැණි රස සහිතව මෙන්ම රහිතව ද, එනම් කහට ලෙසත් ශ්‍රී ලංකාවේ පානයට ගනු ලැබේ. තවද කිරි එක්කොට සකසා ගනු ලබන කිරි තේ (දියවැඩියාව වැනි රෝගී තත්ත්වයක් තිබෙන පුද්ගලයින් හැර) බහුලවම සීනි එක්කොට පානයට ගනු ලබයි. මෙසේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ප්රමුඛ ආසියාතික රටවල තේ යනු පැණි රස පානයක් වන අතර, ටිබේටයේ ජාතික පානය ලෙස සැලකෙන පෝචා හෙවත් බටර් තේ සීනි රහිතව බටර් සහ ලුණු එක්කොට පානයට ගනු ලබයි.
මෙම පානය සැකසීමට උපයෝගී කරගන්නා අමුද්‍රව්‍ය දෙස බැලීමේදී ශ්‍රී ලාංකීය අපට නම් එහි රස තරමක වෙනස් අත්දැකීමක් වනු නොඅනුමානය.
ටිබෙට් ජාතිකයෙකු වන ටෙන්සින් සුන්ඩූ සමඟ සිදු කළ සාකාච්ඡාවකදී මෙම විශේෂ තේ වර්ගය පිළිබඳ කරුණු රාශියක් දැන ගන්නට හැකිවිය.
ටිබේටයේ පිහිටීම මත පදනම් වූ ආහාර රටාව
ආසියාවේ ජල කුළුණ සහ ලෝකයේ පියස්ස යන විරුදාවලිලත් ටිබේටය හෙවත් තිබ්බතය, හිමාලය කඳු පංතියේ ටිබේට සානුවේ පිහිටා ඇත. මුහුදු මට්ටමින් මීටර 5000ක් 6000ක් පමණ උසකින් පිහිටි ටිබේටය දැඩි සීතලකින් යුක්ත ප්රදේශයකි.
“ටිබේටයේ ආහාර රටාව ඉතාම සුවිශේෂීයි. එය අපේ රටේ දේශගුණය මත පදනම් වුණු ආහාර සම්ප්රදායක් ලෙස හඳුන්වන්න පුළුවන්. අධික සීතලට ඔරොත්තු දීම පිණිස සකසන ලද ආහාර ටිබේට් ජනතාව අතර වඩාත් ප්‍රචලිතයි වගේම ඒවා තමයි අපේ රටේ ප්‍රධාන ආහාර බවට පත් වෙලා තියෙන්නෙත්” සුන්ඩූ පවසයි.
ඔහු පවසන ආකාරයට ටිබේටයේ ආහාර රටාව සැකසී ඇත්තේ අධික සීතලට ඔරොත්තු දීමටත්,ඔවුන්ගේ සාම්ප්‍රදායික රැකියාව වන ගොවිතැන සහ ආහාර සොයා තැනින් තැනට යෑමට අවශ්‍ය ශක්තිය සහ පෝෂණය ලබා දීමටත්ය. “ටිබෙට්වරුන් සාම්ප්‍රදායිකව අහිකුණ්ඨික ජීවන රටාවකට හිමිකම් කියන ජන කොට්ඨාශයක්. එනිසා තැනින් තැනට යෑමට ඔවුනට ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තිය ඔවුන් ලබා ගන්නේ ටිබේටයටම අවේණික වූ ආහාර වලින්”
ටිබෙට්වරු ප්‍රධාන වශයෙන් යැක් ගව මස් සහ යැක් ගව කිරි මෙන්ම එම කිරිවලින් සකසනු ලබන චීස් සහ බටර් සහිත ආහාර මෙන්ම බාර්ලී ආදිය බහුලව ආහාරයට එක්කර ගනිති. වියළි යැක් ගව මස්වලින් සකසන ආහාර ඉතා ජනප්‍රිය අතර, එරට ප්‍රධාන ආහාරය ලෙස සම්පා නම් බාර්ලී පිටිවලින් සැකසූ තලපයත් ප්‍රධාන පානය ලෙස පෝචා හෙවත් බටර් තේ ත් සලකනු ලබයි.
යැක් කිරි ආහාර
යැක් ගවයා ඉතා උස් මෙන්ම සීතල ප්‍රදේශයක් වන ටිබේට් ප්‍රදේශයට ආවේණික වූ ගව විශේෂයකි. මෙම ගවයා දිගු ලොම් සහ කෙටි පාද සහිත සතෙකි. සාමාන්‍ය ගවයෙකුගෙන් ලබා ගන්නා ප්‍රයෝජන සියල්ල යැක් ගවයාගෙන්ද ලබා ගත හැක. ටිබෙට්වරුන් මස් පිණිස, ප්‍රවාහනයට මෙන්ම කිරි ලබා ගැනීමටත් මෙම යැක් ගවයින් නිවෙස් ආශ්‍රිතව ඇති කරනු ලබයි. “මුහුදු මට්ටමට වඩා ඉතා උස දැඩි සීතලක් සහිත ටිබෙට් ප්‍රදේශයේ සාමාන්‍ය ගවයෙක්ට ජීවත් වෙන්න අපහසුයි. නමුත් යැක් ගවයා අනුවර්තනය වෙලා තියෙන්නේ මෙවන් භූ ගෝලීය පිහිටීමකට සහ දේශගුණයකට. වසර දහස් ගණනක් තිස්සේ යැක් ගවයින් ටිබේට ප්‍රදේශයේ ජීවත් වෙනවා. මෙම ගව වර්ගය ටිබේටයට අවේණිකයි” සුන්ඩූ පවසයි.
යැක් ගවයා සාමාන්‍ය ගවයාට වඩා වැඩි ප්‍රමාණයක් කිරි ලබා දෙන බව සඳහන් වේ. යැක් ගව කිරිවලින් සකසනු ලබන බටර් ටිබේට ආහාර බහුතරයක දක්නට ලැබෙන ඉතා පෝෂණීය අමුද්‍රව්‍යයකි. ටිබේටයේ ජාතික පානය වන පෝචා සඳහා භාවිතා කරන්නේද මෙම යැක් බටර් විශේෂයයි.
පෝචා (ටිබෙට් බටර් තේ )
පැණි රසක් නොමැති ලුණු මිශ්‍ර කහට රසකින් යුත්, පෝෂණ ගුණයෙන් ඉහළ මෙම සුවිශේෂී තේ වර්ගය ටිබෙට්වරුන් තම සිරුර උණුසුම්ව තබා ගැනීමට පානය කරන්නකි. “සමහර අය දවසකට බටර් තේ කෝප්ප පනහක් විතර බොනවා” සුන්ඩූ තම අත්දැකීම විස්තර කරන්නේය. පැසවා වියළන ලද පූ ආ නම් තේ වර්ගය, යැක් බටර්, රෝස ලුණු සහ සමහර අවස්ථාවල යැක් කිරිද එක්කොට ටිබෙට් බටර් තේ සකසා ගනු ලබයි. “සාමාන්‍ය බටර්වලට වඩා යැක් බටර්වල ලුණු ගතිය අඩුයි. ඒ නිසා තමයි මේකට රෝස ලුණු එක්කරන්නේ” යැයි පවසන සුන්ඩූ රෝස ලුණු පිළිබඳව වැඩිදුරටත් මෙසේ විස්තර කරයි. “බටර් තේ සඳහා විශේෂයෙන්ම එක්කරන්නේ රෝස ලුණු. ඒවා හිමාලය ප්‍රදේශය ආශ්‍රිතව ලබා ගන්නා ලුණු වර්ගයක්. ඒවා රෝස පාටයි. අපි විශ්වාස කරනවා රෝස ලුණුවල සාමාන්‍ය ලුණුවලට වඩා ඛනිජ ලවන විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ නිසා රෝස ලුණු මේස ලුණුවලට වඩා ගුණයි”.
පූ ආ නම් විශේෂ තේ වර්ගයක් මෙම බටර් තේ පිළියෙළ කිරීමේදී යොදා ගනු ලබයි. මෙම තේ කොළ මඳක් පැසෙන්නට තබා ගුලියක් හෝ ගඩොල් කැටයක හැඩයට එකට එකතුකොට වියළනු ලබයි. මෙසේ වියළා ගත් තේ කොළ ගුලියක් ලෙස හෝ ගඩොල් කැටයක හැඩයට දක්නට ලැබේ. මෙහි වැඩි ප්‍රති ඔක්සිකාරක ගුණයක් පවතින බව විශ්වාස කෙරේ.
“ටිබෙට්වරුන්ගේ පැවැත්මේ එක් සුවිශේෂී ආහාරයක් තමයි මේ බටර් තේ. දැඩි සීතල නිසා අපේ තොල් වේළිලා පැලිලා ලේ ගලන්න පටන් ගන්නවා. පෝචා තේ කෝප්පයේ උඩින්ම තියෙන බටර් තට්ටුව අපේ තොල්වලට තෙතමනයක් ලබා දෙනවා” සුන්ඩූ පවසන ආකාරයට ටිබෙට් බටර් තේ සාම්ප්‍රදායික ලෙස මෙන්ම නවීන ක්‍රමයටද සකසා ගැනීමේ හැකියාව ඇත. සාම්ප්‍රදායික ආකාරයට පෝචා සැකසීමට ඒ සඳහා සුවිශේෂී වූ ටිබේටය ආශ්රිත ප්‍රදේශවලින් පමණක් ලබා ගත හැකි අමුද්‍රව්‍ය පවතී. එහෙයින් ටිබේටයෙන් පිටත ජීවත්වන ජනතාවට සාම්ප්‍රදායික ක්‍රමයට පෝචා සැකසීම තරමක් අපහසු විය හැක.
සාම්ප්‍රදායික ක්‍රමයට පෝචා සැකසීමේදී පූ ආ තේ කොළ පැය 10ක්-12ක් පමණ මඳ ගින්නේ තැම්බීම සිදු කරයි. එවිට තේ කළු පැහැයට හැරේ. එසේ තම්බා ගත් තේ පෙරා ගෙන කොළ ඉවත දමනු ලබයි.
මෙසේ පෙරා ගත් තේ වතුර ටිබෙට් භාෂාවෙන් හඳුන්වන්නේ “චාකු” නමිනි. ඉන්පසු එම චාකු තේ වතුර චංඩොං නමින් හඳුන්වන උපකරණය තුලට වත්කරනු ලබයි. මෙම උපකරණය උණ බට වලින් සකසන ලද පෝචා හොඳින් තෙරපමින් මිශ්‍ර කිරීමට භාවිතා කරනු ලබන බඳුනකි. (වර්තමානයේ පෝචා සකසා ගන්නේ චංඩොං වෙනුවට ෆ්‍රෙන්ච් ප්‍රෙස් උපකරණය හෝ බ්ලෙන්ඩරයක් භාවිතයෙනි. චංඩොං උපකරණයෙන් සිදු කරන්නේ බ්ලෙන්ඩරයකට හා සමාන කාර්යයකි)
චංඩොං උපකරණයට එසේ පෙරා ගත් තේ (චාකු ) සමඟ රෝස ලුණු, ලොකු බටර් කැබැල්ලක් සහ සමහර අවස්ථාවල සෝඩා ස්වල්පයක් ද එක්කරනු ලබයි. ඉන් පසු අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර වන සේ දියරය තෙරපමින් විනාඩි 1-2ක් පමණ කැලතීම සිදු කරයි. ඉන්පසු තඹ කේතලයකට වත්කරනු ලබයි. එසේ කිරීමෙන් බටර් තේ එකේ උණුසුම ආරක්ෂා කරගත හැක.
“අනෙකුත් තේ වර්ග වගේම බටර් තේ බොන්නේත් ගොඩාක් උණුවට. සීතල ටිබේට කඳු ප්‍රදේශයේ ජීවත්වෙනකොට නිතරම උණු කෑම බීම තමයි ඕන වෙන්නේ. බටර් තේ එකේ උඩින් කහ පාට බටර් තට්ටුව මිදෙනවා. අපි තේ එක බොනකොට ඒ බටර් තට්ටුවට පිඹලා කෝප්පෙ අනිත් පැත්තට ඒ බටර් තට්ටුව යවලා තමයි බොන්නේ. අද සාම්ප්‍රදායික විදියට පෝචා හදනවා ගොඩාක් අඩුයි. එහෙම කරන්නේ ටිබේටයේ සමහර ප්‍රදේශවල විතරයි. කාලය ඉතුරු කරගන්න ඕන නිසාත් යැක් බටර්, රෝස ලුණු , පූ ආ තේ එහෙම හොයා ගන්න බැරි නිසාත් දැන් සාමාන්‍ය බටර්, සාමාන්‍ය ලුණු වගේම සාමාන්‍ය තේ කොළ දාලා තමයි ටිබෙට් රටින් පිට ඉන්න ටිබෙට්වරුන් පෝචා හදා ගන්නේ” ඔහු විස්තර කරයි.
එමෙන්ම මෙම බටර් තේ වර්ගයටම ආවේණික වූ සුවිශේෂී රසය ලැබෙන්නේ එම යැක් බටර්, රෝස ලුණු සහ පූ ආ තේ භාවිතයෙන් පමණි. වර්තමානයේ දියුණු තාක්ෂණය සමඟ ටිබේටයට සහ හිමාල ප්‍රදේශයට පමණක් අවේණික මෙම අමුද්‍රව්‍ය සියල්ල අන්තර්ජාලය හරහා වෙළෙඳාම් සිදු කරනු ලබන මහා පරිමාණ වෙබ් අඩවි ඔස්සේ ලොව ඕනෑම තැනකට ගෙන්වා ගැනීමේ හැකියාවද පවතී.
ශ්‍රී ලාංකීය අප පැණි රසට තේ බීමට හුරු වී ඇති නිසා මෙම විශේෂ තේ වර්ගය “තේ එකක්” ලෙස නොදැනෙන්නට පුලුවන. නමුත් වරක් රස බැලුවොත් තවත් වරක් රස බැලීමට ආශාවක් ඇති වනවාට සැක නැත. (මෙම ලිපිය ලියන මා හටද මුලදී එය වෙනස් රසයක් ගෙන දුන්නද පසුව ඒ සඳහා ඇල්මක් ඇති විය)
සුන්ඩූ පවසන ආකාරයට බොහෝ දෙනෙකු වර්තමානයේ ටිබෙට් බටර් තේ සකසා ගන්නේ පහත ආකාරයටය. එය සාම්ප්‍රදායික ක්‍රමයට වඩා තරමක් වෙනස් ආකාරයකි. නමුත් රසයේ විශාල වෙනසක් නොමැත. එම සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය භාවිත නොකොට සාමාන්‍ය බටර්, සාමාන්‍ය ලුණු සහ තේ කොළ භාවිත කරන්නේ නම් රස අනුව ඒවායේ ප්‍රමාණ අඩු වැඩි කරගත යුතුය. සාමාන්‍ය බටර්වල වැඩි ළුණු ප්‍රමාණයක් අඩංගු නිසා සාමාන්‍ය ලුණු එක්කිරීමේදී ලුණු රසය වැඩි නොවීමට ද වග බලාගත යුතුය.
අවශ්‍ය ද්‍රව්‍ය (තේ කෝප්ප 2කට)
පැසවන ලද තේ කොළ- තේ හැඳි 1ක් හෝ 2ක්
හිමාල රෝස ලුණු- තේ හැඳි 1 ක්
කිරි – කෝප්ප 1 ක්
වතුර කෝප්ප 1 ½ ක්
යැක් බටර් තේ හැඳි 1ක්
සාදාගන්නා ආකාරය
සාස්පානක් ලිප තබා එයට වතුර දමා රත් වන්නට තබන්න. වතුර රත් වේගෙන එනවිට එයට පැසවන ලද තේ එක්කර විනාඩි 5ක් පමණ මඳ ගින්නේ තැම්බෙන්නට හරින්න. සාම්ප්‍රදායික ක්‍රමයට පෝචා සැකසීමේදී අවම වශයෙන් පැය භාගයක්වත් මඳ ගින්නේ තේ කොළ තම්බා ගත යුතුය (ඔබ පැයක් හෝ පැය භාගයක් මඳ ගින්නේ තේ කොළ තම්බා ගන්නට සිතන්නේ නම් වැඩි වතුර ප්‍රමාණයක් එක් කළ යුතුය). පෝචා සතු නියම රසය ලබා ගන්නට නම් පැය භාගයක්, පැයක් පමණ තේ කොළ තම්බා ගත යුතු නමුත් විනාඩි 5ක් පමණ මඳ ගින්නේ තම්බා ගත්තාට ගැටළුවක් නැත.
ඉන්පසු භාජනය ලිපෙන් බා තේ වතුර පෙරා තේ කොළ ඉවත්කරගන්න. චාකු දියරය ලෙස හඳුන්වන්නේ මෙයයි. සාස්පානේ තේ කොළ නොසිටින සේ හොඳින් සෝදා සාස්පාන නැවතත් ලිපේ තබන්න. එයට යැක් කිරි එක්කර විනාඩි 2ක් පමණ මඳ ගින්නේ උතුරුවා ගන්න.
ඊළඟ පියවර සඳහා චංඩොං උපකරණයක් හෝ ෆ්‍රෙන්ච් ප්‍රෙස් උපකරණයක් අවශ්‍ය වේ. චංඩොං උපකරණයක් සොයා ගැනීම අපහසු හෙයින් ෆ්‍රෙන්ච් උපකරණයකට උතුරුවා ගත් කිරි තේ, රෝස ලුණු සහ යැක් බටර් දමා අමුද්‍රව්‍ය හොඳින් තද කරමින් මිශ්‍ර කරගන්න. අවම තරමින් විනාඩි 5ක් වත් මෙම අමුද්‍රව්‍ය ෆ්‍රෙන්ච් ප්‍රෙස් උපකරණයෙන් මිශ්‍ර කරගත යුතුය. ඉන්පසුව උණුසුම්ව පානය කරන්න. මෙය සීතල කාලගුණයක් පවතින පෙදෙස්වල ජනතාවගේ සිරුර උණුසුම් කිරීමට කදිම පානයකි. සීතල වැසිබර දිනෙකදී වුවද මෙය පානයට ඉතා සුදුසුය.