සටහන සහ ඡායාරූප පංචමී හේවාවිසෙන්ති
ඉන්දියානු අවන්හලකදී අපට රස බලන්නට ලැබෙන චනා මසාලා කරිය, එහෙමත් නැත්නම් කඩල කරිය එයටම ආවේණික රසයකින් යුක්තයි. නමුත් අපි ගෙදර හදන කඩල කරිය ඒවගේ රස නෑනේද?ඒකට හේතුව ඉන්දියානු චනා මසාලා කරිය සකසන ආකාරය මෙන්ම එයට යොදා ගන්නා ඉන්දියානු මසාලා වර්ග යි. අපේ රටේ වෑංජන හැම එකටම වගේ අපි දාන්නේ තුනපහ වුණාට ඉන්දියානු කෑමවල එකින් එකට වෙනස් මසාලා වර්ග භාවිතා කරනවා. මේ විශේෂ කඩල කරිය හදන්න විශේෂ කුළුබඩු මිශ්‍රණයකින් යුත් මසාලා පවුඩර් එකක් භාවිතා කරනවා. ඒකෙ නම “චනා මසාලා පවුඩර්”. ඒකට අඹ සහ දෙළුම් ඇට වේළලා කුඩු කරලා එකතු කරනවා. ඒවගේම බෙංගාලි කළු කරදමුංගුත් මේ මසාලා පවුඩර් එක හදා ගන්න එක්කර ගන්නවා.
අඹ පවුඩර් පවුඩර් සහ බෙංගාලි කළු කරදමුංගු අපේ රටේ නම් හොයාගන්න ටිකක් අමාරුයි. ඒත් ඉන්දියාවේ යනඑන කෙනෙක් අතේ ගෙන්න ගන්න පුළුවන්.
චනා මසාලා කරිය ප්‍රෝටීන් බහුල “වීගන්” ආහාරයක්. මස්මාළු ආහාරයට නොගන්නා “වෙජිටේරියන්” පුද්ගලයින්ට අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමේ ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස රනිල භෝග හඳුන්වන්න පුළුවන්. ඒ අතරින් කඩල විශේෂයි.
අවශ්‍ය ද්‍රව්‍ය
කඩල ග්‍රෑම් 250ක්
එළඟි තෙල් මේස හැඳි 4ක්
කරදමුංගු 3ක්
බේ ලීෆ් 2ක්
සූ දුරු තේ හැඳි 2ක්
අමු මිරිස් කරල් 2ක්
ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 2ක්
තක්කාලි ගෙඩි 2ක්
චනා මසාලා පවුඩර් මේස හැන් දක්
කහ කුඩු තේ හැඳි කාලක්
ලුණු
කොත්තමල්ලි කොළ මිටක්
ලෙමන් යුෂ මේස හැන්දක්
චනා මසාලා පවුඩර් සකසා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
සූදුරු මේස හැඳි 2ක්
මහ දුරු තේ හැඳි භාගයක්
කොත්තමල්ලි මේස හැඳි 3ක්
කුරුඳු කැබැල්ලක්
කරාබු නැටි 3ක්
කරදමුංගු 5-6ක්
බෙංගාලි කළු කරදමුංගු 1ක්
ගම්මිරිස් ඇට මේස හැන්දක්
වියළු උළුහාල් කොළ (කසූරි මේති) තේ හැන්දක්
වියළි මිරිස් කරල් 6-7ක්
අඹ පවුඩර් තේ හැඳි 1ක්
වියළි දෙළුම් ඇට මේස හැඳි 2ක්
වියළි ඉඟුරු කැබැල්ලක්
චනා මසාලා පවුඩර් සකසා ගැනීම
අඹ පවුඩර් හැර ඉහත අමුද්‍රව්‍ය සියල්ලම මඳ ගින්නේ විනාඩි 3-4ක් රෝස්ට් කර ගන්න. ඉන් පසු නිවෙන්නට හැර ග්රයින්ඩරයකින් අඹරා පිටි කර ගන්න. පසුව අඹ පවුඩර් ද එක්කර මිශ්‍රකර සුළං නොවදින අසුරණයක බහා ගබඩා කරගන්න.
චනා මසාලා කරිය සකසා ගැනීම
මේ සඳහා ගන්නා කඩල සාමාන්‍ය පරිදි රැයක් පෙඟෙන්නට තැබිය යුතුය. (කඩල ඉක්මනට තැම්බෙන්නට කඩල පෙඟෙන්නට දැමූ භාජනයට බේකිං පවුඩර් ස්වල්පයක් එක්කරන්) රැයක් පොඟවාගත් කඩල තම්බා ගන්න.
ඉන් පසු තක්කාලි ගෙඩි තම්බා ගෙන පොතු හැර බ්ලෙන්ඩරයකට දමා පේස්ට් එකක් සකසා ගන්න. ලූනු සහ අමු මිරිස් සිහින්ව කපා ගන්න.
භාජනයක් ලිප තබා එයට එළඟි තෙල් එක්කර රත්කරන්න. රත්වූ තෙලට සූදුරු, බේ ලීෆ්, තලා ගත් කරද මුංගු දමා විනාඩි 2ක් පමණ බැද ගන්න. ඉන්පසු එයට කපා ගත් ලූනු දමා විනාඩි 2ක් පමණ බැදගත් පසු ඉඟුරු සුදු ලූනු පේසට් එක්කර ගන්න. විනාඩි කිහිපයක් බැදගත් පසු තක්කාලි පේස්ට් සහ අමු මිරිස් එක්කර තව ටික වේලාවක් තෙම්පරාදු කරගන්න. ලූනු රන්වන් පාට වන තෙක් බැදුණු පසු එයට චනා මසාලා පවුඩර්, කහ කුඩු සහ ලුණු එක්කර තවත් විනාඩි කිහිපයක් බැද ගන්න. කුළු බඩු එක්කළ පසු ඒවා පිළිස්සෙන්නට නොදී මඳ ගින්නේ සුවඳ විහිදෙන තුරු වරින් වර හැන්දකින් කලවම් කරන්න. දැන් මෙයට තම්බා ගත් කඩල එක්කර කලවම් කර විනාඩි 2ක් පමණ බැද ගන්න. ඉන්පසු එයට කඩල තම්බාගත් වතුර එක්කර හොඳින් හැඳි ගා පියන වසා තබා විනාඩි කිහිපයක් ඉදෙන්නට තබන්න. ඉන් පසු පියන වරින් වර විවෘතකර මිශ්‍රණය හැඳි ගාමින් තව විනාඩි 5ක්-6ක් පමණ පිස ගන්න. කොත්තමල්ලි කොළ සිහින්ව කපා කරියට එක්කර ලිපෙන් බා ගන්න. ලිපෙන් බාගත් විගස ලෙමන් යුෂ එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
උණුසුම්ව පිළිගන්වන්න. චපාති, නාන් හෝ බත් සමඟ වුවද රස විඳිය හැක.