සංජය නල්ලපෙරුම විසිනි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) අර්බුදය නැමැති බළලා යළිත් මල්ලෙන් එළියට පැන ඇත. එය මුළු රටම දැනගත්තේ තෙල් මිල වැඩි කිරීමත් සමඟ පොහොට්ටුවේ ලිපි ශීර්ෂයකින් බලශක්ති ඇමති උදය ගම්මන්පිලට ඉල්ලා අස්වන්නැයි එහි මහ ලේකම් සාගර කාරියවසම් යැවූ ලිපියත් සමඟය. එය මතුපිටින් බලන්නෙකුට සාගර කාරියවසම් සහ උදය ගම්මන්පිල අතර ඇති වූ ගැටුමක් සේ දිස්වුවද, මෙයින් සැබෑ ලෙසින්ම පෙන්වන්නේ පොහොට්ටුවේ සහ රාජපක්ෂ පවුලේ මේ වන විට ඇති වී තිබෙන දෙදරා යාමය.
නූල තිබෙන්නේ බැසිල් රාජපක්ෂ අතේය. වේදිකාවට පැමිණ රඟ දක්වන්නේ සාගර කාරියවසම් මන්තී‍්‍රවරයාය. සැබෑ ගැටුම ඇත්තේ රාජපක්ෂ පවුල සහ පොහොට්ටුව තුලය.
සාගර කාරියවසම් පිටුපස සිටින්නේ මේ දිනවල ඇමරිකාවේ සිටින බැසිල් රාජපක්ෂය. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ‘ගේම්’ ගහන්නේ බැසිල් රාජපක්ෂ බව අමුතුවෙන් කිව යුතු නොවේ. උදය ගම්මන්පිල ඇමැතිවරයා ඊයේ (13) පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී ඒ බව නොකියා කීවේය. ඒ තමන් පිටුපස කිසිවෙකුත් නොමැති බවත් සාගර කාරියවසම් පිටුපස සිටින්නේ කවුරුන්දැයි තමන් නොදන්නා බවත් කියමිනි.
කවුරු කෙසේ කීවත් සාගර කාරියවසම්, ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කළ පක්ෂයේ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් තමන්ගේ හිතට එන දේ කියන්නට යන්න තරම් ‘වැඩ්ඩෙක්’ නොවන්නේය. තෙල් මිල වැඩිකිරීම පිටුපස ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සිටින බව හොඳින්ම දන්නා සාගර කාරියවසම් ගම්මන්පිල ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළේ මේ සියල්ල නොදැන විය නොහැකිය.
සාගර කාරියවසම් පිටුපස සිටිමින් බැසිල් රාජපක්ෂට අවශ්‍ය වන්නට ඇත්තේ කුමක්දැයි යන්න ගැන අමුතුවෙන් කිව යුතු නැත. පැණි වරකා ගහටත් හෙණ ගැසුවා සේ රාජපක්ෂ පවුලේ තිබෙන අර්බුදය යළිත් කරළියට පැමිණ ඇති බව පෙනෙන බව ජනතාව පවසන්නේය.
පරණ අර්බුදය
රාජපක්ෂ පවුල ඇතුලේ පැවති අර්බුදය පසුගිය ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර අවසන්වූයේ රාජපක්ෂ සහෝදරවරුන් අතර පැවති සාකච්ඡා වට ගණනාවකින් පසුවය. මේ අර්බුද ගැන එකල සති අන්ත පුවත්පත්වල දේශපාලන තීරු ලිපිවලින් අනාවරණය කර තිබුණේය.
එකල මේ අර්බුදයට හේතුවී තිබුණේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ කවුරුන්ද යන මත ගැටුමයි. බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණ නිර්මාණය කිරීම නිසා තමන්ට 2019 ජනාධිපති අපේක්ෂකයා විය හැකි යැයි ඔහු බලාපොරොත්තු වූයේය.
අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂටත් 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවශ්‍යව තිබුණි. උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් ගෝඨා පාර්ශවය ශක්තිමත් කරන්නට කැප වුණු අතර, ප්‍රසන්න රණතුංග ඇතුළු කණ්ඩායම බැසිල් පාර්ශවය ශක්තිමත් කරන්නට කැපවුණහ.
2019 ජනාධිපතිවරණය සම්බන්ධ ඒ සීතල යුද්ධය අවසානයේ ජයගත්තේ ගෝඨාභය රාජපක්ෂය. රාජපක්ෂ පවුලේ එකඟතාවයට ඉඩ දුන් බැසිල්ද කකුලෙන් නොඇද ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නේය.
නාමල් ප්‍රවර්ධන බලකාය
පසුගිය දිනවලදී දේශපාලන බලය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් අතර ‘කතා බහක්’ හෙවත් ‘නොහොඳ නෝක්කාඩුවක්’ ඇති වී තිබුණු බවට විවිධ ආරංචි පැතිර යමින් තිබුණි. එවන් එක් කතාවකින් කියවුණේ මහින්ද රාජපක්ෂ අගමැතිධූරයෙන් ඉවත්වන බවත් හිස්වන අගමැතිධූරයට බැසිල් රාජපක්ෂ පත් කරන බවත්, බැසිල්ට පාර්ලිමේන්තු පැමිණීමට හැකි පරිදි ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයෙන් ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වන බවත්ය.
එහෙත් බැසිල් රාජපක්ෂ ඇමරිකාවට යාමෙන් පසුව මේ කතාව තරමක් වෙනස්වූයේ මීළඟ අගමැති සහ ජනාධිපතිධූර අපේක්ෂකත්ව සඳහා නාමල් රාජපක්ෂ සූදානම් කරන බවට පුවත් සැළ කරමිනි. නාමල් රාජපක්ෂට රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාදීම මගින් එම පුවත තහවුරු කිරීමට රාජපක්ෂවරුන්ම සාක්ෂි සැපයුවෝය.
නාමල්ට ඩිජිටල් තාක්ෂණ වැනි වැදගත් අමාත්‍යංශයක රාජ්‍ය අමාත්‍යධුරය ලබාදුන්නේ සියලුම රාජ්‍ය ඇමැතිවරුන් නාමල්ගේ නායකත්වයෙන් යුතුව හැසිරවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීමට අවශ්‍ය වූ නිසා විය හැකිය.
නාමල් රාජපක්ෂට ලබාදුන් විෂයයන් හා බලතල දෙස බැලූ විට පෙනී යන්නේ බැසිල් රාජපක්ෂට තිබූ ඇතැම් බලතල ඔහුගෙන් උදුරා නාමල් රාජපක්ෂට ලබාදීමට උත්සාහ ගෙන ඇති බවකි. ආණ්ඩුවේ ඇතැම් පාර්ශව පවසන ආකාරයට බැසිල් රාජපක්ෂ සමඟ සිටි ඇතැම් ප්‍රබලයින් දැන් සිටින්නේ නාමල් රාජපක්ෂ සමඟය.
මේ සියල්ල මැද බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිටින්නේ එතරම් සතුටකින් විය නොහැකිය. ඒ නිසා සාගර කාරියවසම් හරහා බැසිල් තමන්ට කළ හැකි දේ ගැන රජයට සිහි කැඳවීමක් කරන්නට සිතුවා විය හැකිය.
ගෝඨාභය රාජපක්ෂට රිදවීමට අවශ්‍ය නම් කළ යුතු හොඳම දේ වන්නේ ඔහුගේ කඳවුරේ ප්රබලයින්ට රිදවීමයි. පසුගිය කාලයේදී පොදුජන පෙරමුණේ නායක රැස්වීම් වර්ජනය කරමින් සිටි උදය ගම්මන්පිලට ප්‍රහාර එල්ල කිරීම මගින් ගෝඨාභයට රිදවිය හැකි බව දේශපාලනයෙන් තෙම්පරාදු වී සිටින බැසිල් රාජපක්ෂට කවුරුවත් කියා දිය යුතු නැත.
එසේ රිදවීමට බැසිල්ට තිබෙන ශක්තිය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. තමන් නිර්මාණය කළ දේශපාලන පක්ෂයේ ඇති “බළල් අත්” ඔහු ඒ සඳහා යොදා ගැනීමට කිසිදු අවස්ථාවක පැකිලෙන්නේ නැත.
බළලුන් ලවා කොස් ඇට බාවමින් සිටින බැසිල් රාජපක්ෂ ලබන සතියේ ලංකාවට ඒමට නියමිතව ඇතැයි පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෝ පවසති.
ඔහු ලංකාවට පැමිණීමෙන් පසුව මේ අර්බුදයට සම්පූර්ණයෙන්ම විසඳුමක් ලැබීමට හෝ මෙය තවත් උග්රවීමට හැකිය.
විපක්ෂයේ හැසිරීම
මේ අර්බුදය දෙස බලා විපක්ෂයට සිනාසෙමින් සිටීමට නොහැකි වනු ඇත. රාජපක්ෂ පවුලේ බල අරගළයක් නිසා බලය තමන්ගේ ඔඩොක්කුවට කඩාගෙන වැටෙනු ඇතැයි සිතා කටයුතු කළහොත් විපක්ෂයට සිදුවන්නේ ඉදිරි මැතිවරණයෙන් පසුවත් විපක්ෂයට වී සිටීමය.
මේ නිසා ඇතිවී තිබෙන අර්බුදයෙන් මතුවන දේශපාලන වාසි මනාව කළමනාකරණය කරගත හැකි ක්‍රමවේදයක් සකස් කරගැනීමට විපක්ෂය කටයුතු කළ යුතුව ඇත. එමෙන්ම රාජපක්ෂවරුන් විසින් බලයට කෑදරකමින් ගැටුම් ඇති කරගන්නා විට, ජනතාවාදී විපක්ෂයක් ලෙස ඔවුන් කළ යුත්තේ කබලෙන් ලිපට වැටී සිටින ජනතාවට සැබෑ ශක්තියක් වීමය.
–ඡායාරූපය අන්තර්ජාලයෙනි