සංජය නල්ලපෙරුම විසිනි
“අපේ පරම්පරාවේ එකෙක්වත් පොලීසියකට අඩියක්වත් තියලා නෑ” සමහරෙක් මෙසේ කියන්නේ මහා උජාරුවකිනි. එහෙත් වර්තමානයේ මේ කියමන ටිකක් වෙනස් කරන්නට සිදු වී තිබේ. ඒ සැකකරුවෙක් විදියට පොලීසියට ගියහොත් ‘‘නැවත පණ පිටින් එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ’’ ලෙසය. පසුගිය වකවානුවේදී දිගින් දිගටම පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින්ට අත්වන ඛේදනීය ඉරණම දෙස බලන විට මෙවන් බියක් ජනතාව තුල ඇති වීම සාධාරණය.
මෙයට එක් හේතුවක් වී ඇත්තේ වර්තමානයේ පොලිසිය භාර අමාත්‍යවරයාගේ අකාර්යක්ෂමභාවය සහ ඔහුගේ දුර්වල පරිපාලන හැකියාවයි. පසුගිය කාලයේ පොලිස් ඇමති සරත් වීරසේකර දැඩි ලෙස ජනතා අප්‍රසාදයට ලක්වූයේ කරුණු කිහිපයක් හේතුවෙනි. එකක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අපහාස කරමින් නියම යුධ විරුවා තමන් යැයි පෙන්වන්නට දැරූ අසාර්ථක උත්සාහයයි. අනෙක යහපත් චරිතයක් නොමැති කාන්තාවක් සංචරණ නීති උල්ලංඝනය කළ පසු ඇය වෙනුවෙන් පෙනී සිටීම සහ එම කාන්තාව නිරෝධායනයට යැවූ පසු සරත් වීරසේකර ඇමතිවරයාගේ පුත්‍රයා සංචරණ සීමා නීතිය උල්ලංඝනය කරමින් ඇගේ ඇඳුම් සහ මේකප් බෑගය ගෙනත් දීමයි. මෙවැනි ‘තුට්ටු දෙකේ’ වැඩ කරමින් අකාර්යක්ෂම හා දුර්වල පොලිස් ඇමතිවරයා ‘බාල් නටද්දී’ පොලිසියට මෙවන් ඉරණමක් අත්වීම පුදුමයට කරුණක් නොවේ.
රටම වසා තිබියදී වුවත් මේ කතාව වෙනස් නොවන බව දැන් කීමට සිදුව තිබේ. ඒ එකම සතියේ පොලිස් ස්ථාන දෙකකින් පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයින් දෙදෙනෙක් මිය යාම ගැන පුවත් වාර්තාවූ නිසාය.
පසුගිය සතියේදී මඩකලපුවේ ඉරුදයපුරම්හිදී, මඩකලපුව පොලීසියට අනුයුක්තව සිටි බුද්ධි අංශ නිලධාරීන් විසින් විසි එක් හැවිරිදි චන්ද්‍රන් විධූෂන් තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වූ චෝදනාවක් මතය. එහෙත් අත්අඩංගුවට ගෙන පැය විසිහතරක් යාමට පෙර එම තරුණයා මිය ගොස් තිබුණේ පොලීසිය තුළදීමය.
මේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් කරුප්පයියා සෙල්වරානි එරාවුර් පොලීසියට නියෝගයක් කර තිබුණාය. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණේ අයිස් නැමති මත්ද්‍රව්‍ය පැකට් හතරක් ගිලීම නිසා තරුණයා මිය ගොස් ඇතිබවය.
එහෙත් මරණ පරීක්ෂණය සිදුවන අවස්ථාවේදී පවුලේ ඥාතීන්ද එහි පැමිණ සිටි අතර ඔවුන් මරණය සම්බන්ධයෙන් පොලීසියට ඇඟිල්ල දිගු කළෝය. දෙමළ සමාජයේ තොරතුරු ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාර්තා කරන ඩී.බී.එස්. ජෙයාරජ් නම් මාධ්‍යවේදියා විසින් මිය ගිය තරුණයාගේ සහෝදරිය උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ පොලීසිය විසින් තරුණයාට දැඩි ලෙස පහරදී ඇති බවය.
‘‘උදේ දහයයි තිහට විතර තමයි මල්ලි අත්අඩංගුවට ගත්තේ. අපේ ගෙරද ළඟදිත් පොලීසිය මල්ලිට ගැහුවා. ඊට පස්සේ තමයි මඩකලපුව පොලීසියට අරගෙන ගියේ. අරගෙන ගියපු දවසට පස්සෙන්දාම මල්ලි මැරුණා කියලා පොලීසිය අපිට කිව්වා’’මිය ගිය තරුණයාගේ සහෝදරිය පැවසුවාය.
මිය ගිය තරුණයාගේ පවුලේ ඥාතීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මරණයේ වගකීම පොලීසිය මත පටවා තිබුණි.
පොලිස් අත්අඩංගුවේ සිටි මඩකලපුවේ තරුණයාගේ මරණයේ අවසන් කටයුතු සිදුකර පැය විසිහතරක් ගතවීමටත් පෙර එවැනිම සිදුවීමක් පානදුර පොලීසියෙන් වාර්තා විය. පානදුර වත්තෙපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලීසිය භාරයේ සිටියදී මිය ගොස් ඇත.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ සංචරණ සීමාවන් කඩ කිරීමේ චෝදනා මතය. අත්අඩංගුවට ගෙන පොලිස් කැබ් රථයක පටවාගෙන පොලීසියට රැගෙන යන අතරවාරයේදී වාහනයෙන් බිමට වැටී එම පුද්ගලයා මිය ගිය බව පොලිසිය විසින් සඳහන් කරන ලදී.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහි වගකීම මිය ගිය පුද්ගලයාටම පැවරුවේය.
‘‘මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව බැලු බැල්මට පෙනී යනවා. පොලිස් ජීප් රථයේ පිටුපසින් පැන යාමට උත්සාහ කිරීමේදී මොහු ඇද වැටී මිය ගොස් තිබෙනවා. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා ධාවනය වෙමින් තිබූ ජීප් රථයෙන් මෙම පුද්ගලයා පැන ගොස් ඇති බව සදහන් කරනවා’’ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.
පොලිස් ජීප් රථයෙන් පැන තුවාල ලැබූ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කරන ලදී. මේ අතරවාරයේදි පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගත් පුද්ගලයාට ඇප ලැබිණ. තුවාලත් සුව කරගෙන ඇප ලබා නිවසට ඒම වෙනුවට ඔහුට සිදුවූයේ අවමඟුල් රථයකින් නිවසට පැමිණීමටය.
මඩකලපුවේ මෙන් නොව පානදුර සිදුවීමේදී නීතිය කඩිනමින් ක්‍රියාත්මක වෙමින් උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ සැරයන්වරයාගේ වැඩ තහනම් කරන ලදී. එතැනින් නොනැවතී සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය ගැන පරීක්ෂණයක් ද ආරම්භ කරන ලදී.
එක් පැත්තකින් පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයින් මිය යද්දී ශ්‍රේෂ්ඨාධිකණය විසින් මේ සතියේදී පොලීසියේ ඇස් අරවන තීන්දුවක් ලබා දෙන ලදී. ඒ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක්ට පහරදී ඝාතනය කළ පොලිස් නිලධාරීන් හය දෙනෙක්ට එරෙහිව තීන්දුවක් ලබාදෙමින්ය.
පාසල් හැරයාමෙන් පසුව එළවළු වෙලදාමේ නිරතවූ තරුණයෙක් 2014 වසරේ මැයි 7 වැනිදා තවත් ඥාති පිරිසක් සමග කොට්ටාවට ගොස් තිබුණේ ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමටය. ත්‍රීරෝද රථය රැගෙන නිවසට ඒම වෙනුවට ඔහුට සිදුවූයේ හිස් අතින් පොලීසියට යාමටය. ඒ කන්දකැටිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම නිසාය. ඒ නිධානයක් හෑරීමට උත්සාහ ගත් බවට චෝදනාවක්ද එල්ල කරමින්ය.
පොලීසියට රැගෙන ඒමෙන් පසුව මිය ගිය තරුණයාට හා ඔහුගේ සහෝදරයාට පොලීසිය බරපතල ලෙස පහරදී තිබුණි. පහරකෑ තරුණයාගේ මව පොලීසියට ගිය විට මිය ගිය තරුණයා තමන්ගේ පපුව රිදෙන බව පැවසුවත් පොලීසිය ඔහු රෝහල් ගත කිරීමට කටයුතු නොකළ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් නඩුවක් ගොනු කරමින් තරුණයාගේ මව පවසා තිබුණාය.
එහෙත් පොලීසිය පවසා සිටියේ වෙනත් කතාවකි. ඒ දෙපිරිසක් අතර සිදුවූ ගැටුමක් සමථ්ස්යකට පත් කිරීමට යාමේදී අවම බලය භාවිතා කිරීම හේතුවෙන් තරුණයා මිය ගිය බවය.
අදින් වසර හතකට පෙර මිය ගිය තරුණයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා මහාධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කරන අතරවාරයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් නඩුවක් ගොනු කරන ලද්දේ මානව හිමිකම් උල්ලංඝනය වෙනුවෙන් වන්දියක් ලබාගැනීමටය.
බදුල්ල මහාධිකරණයේ විභාගවූ අපරාධ නඩුව අවසන්වූයේ පොලිස් නිලධාරීන් වරදකරුවන් බවට පත් කරමින්ය. මහාධිකරණයේදී වරදකරුවන් වූ ඔවුන් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් කඩ කිරිම සම්බන්ධයෙන්ද වරදකරුවන් බවට පත්ව සිටිති.
පෙත්සම්කාරිය වෙනුවෙන් නීතීඥ ලක්ෂාන් ඩයස් පෙනී සිටි මේ නඩුවේදී මිය ගිය තරුණයා වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක වන්දියක්ද පහරකෑමට ලක්වු ඔහුගේ සහෝදරයා ඇතුළු ඥාතීන්ට රුපියල් දෙලක්ෂ හතලිස් දහසක වන්දියක් ද ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලදී. මීට අමතරව නඩු ගාස්තු ලෙස රුපියල් හැට දහසක මුදලක්ද ගෙවීමට නියම විය.
මේ සියලුම මුදල් ගෙවිය යුතු වූයේ පොලිස් නිලධාරීන්ගේ පුද්ගලික මුදලිනි. රජයෙන් කිසිදු වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග නොකළේ පොලිස් නිලධාරින් වරදකරුවන් බවට පත් කරමින් මහාධිකරණය නඩු තීන්දුවක් ලබාදී තිබීම නිසාය. මහාධිකරණය මගින් ලබාදුන් තීන්දුව මගින් රජය තමන්ගේ වගකීම ඉටුකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
පසුගිය කාලයේදී මේ ආකාරයට පොලිස් පහරකෑම් නිසා පීඩාවට පත් පිරිස් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබුවද, පොලීසිය විසින් සිදුකරන අඩත්තේට්ටම් නතර කර නැතැයි චෝදනා කරන්නේ සිරකරුවන් සුරැකීමේ සංවිධානයේ ලේකම් නන්දිමාල් ද සිල්වාය.

‘‘දැන් සැකකරුවෙක් විදියට පොලීසියට යන කෙනෙක්ට තමන්ගේ ඉඩකඩම් බිරිඳට දරුවන්ට ලියලා තමයි යන්න වෙන්නේ. මොකද ආයෙත් යහතින් එන්න පුලුවන් වෙයිද කියලා සැකයක් තියෙන නිසා. පාතාලය මර්දනය කරනවා කියලා මිනිස්සු මරණවා. දැන් ඒක සාමාන්‍ය ජනතාව අතරටත් ඇවිත්. පැනලා යන්න හැදුවා, පොලිස් වාහනයෙන් පැන්නා වගේ දේවල් කියලා තමයි මේ දේවල් වෙන්නේ. මේක හරි භයානක තත්වයක්’’ නන්දිමාල් ද සිල්වා කුවේණි.lk වෙබ් අඩවියට පැවසුවේය.
මේ අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින් සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව අවධාරණය කළේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් කුමන සමාජ මට්ටමක සිටියත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කළ යුතු බවය.
‘‘පොලීසිය තුලදී පුද්ගලයන් මියයාම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තිබුණද මේ වන විට එය ප්‍රවණතාවයක් ව තිබෙනවා. ආයුධ පෙන්වීමට යැයි පවසමින් පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් රැගෙන ගොස් නීතියට පිටින් මරා දැමීමෙන් පසුව මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයින් තිදෙනෙක් මරණයට පත්වී තිබෙනවා. මේවා මාසයක් ඇතුළත සිදුවූ මරණ’’ සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා විසින් යැවූ ලිපියේ සදහන් වේ.
ඔහු එම ලිපිය මගින් පොලිස්පතිවරයාට පෙන්වා දි තිබුණේ පොලීසිය ගැන ජනතාවගේ විශ්වාසය නැතිවී තමන්ගේ ප්‍රශ්න තමන් විසින්ම විසඳාගන්නා තත්ත්වයක් ඇතිවුවහොත් එය ඉතාමත් අහිතකර ලෙස සමාජයට බලපෑ හැකි බවය.
අධිකරණයෙන් පොලීසියට එරෙහිව තීන්දු ලබාදී ඇති ආකාරය පෙන්වා දෙමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද පසුගිය සතියේදී පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබිණ. පොලීසිය භාරයේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා සිහිපත් කළේය.
එම සිහිපත් කිරීම කොතරම් කාලයක් පොලීසියට මතක තිබෙනු ඇත්දැයි බැලීමට හැක්කේ පොලීසිය තුළ සැකරුවන් මිය යාම ගැන මීළඟ කතාව ඇසෙන්නේ කවදාදැයි යන්න මතය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය වසරේ නිවේදනය කර තිබුණේ 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන්ගේ මරණ 8ක් වාර්තා වී ඇති බවයි.