උපන්දිනේදී ‘අක්කා’ හමුවෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය සතියේදීය. උපන්දිනය සැමරීමට ජනාධිපතිවරයා අනුරාධපුරයට ගොස් සිටියේය. ජනාධිපතිවරයා විශේෂිත දිනවලදී අනුරාධපුරයට යෑම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. අනුරාධපුරයට ගොස් පේන කියන ඥානවන්ත ‘අක්කා’ හමුවීම, විවිධ යාතුකර්මකර ගැනීම සහ ඇයගෙන් උපදෙස් ගැනීමත් රහසක් නොවේ.
ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂිත ආගමික වතාවත් පැවැත්වීමට අනුරාධපුරයේ දේශපාලඥයින් සූදානම් වුවත් එයට ගෝටාභය ඉඩ ලබාදුන්නේ නැත. ශ්‍රී මහා බෝධිය අසලත් රුවන්වැලි සෑය ඉදිරිපිටත් ආගමික වතාවත් කිහිපයක් ඔහු පුද්ගලිකව සිදුකර තිබුණේ ඉහත කී පේන බලන කාන්තාවගේ උපදෙස් අනුවය.
ජනපතිවරයාට දානයක් පිළිගැන්වූ භික්ෂුන් වහන්සේ
මිරිසවැටියට ගොස් ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව අනුරාධපුර ජනාධිපති මන්දිරයට පැමිණ දිවා ආහාරය ගැනීමට ජනාධිපතිවරයා සූදානමින් සිටියේය. එහෙත් ඔහුට එයට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ මිරිසවැටිය විහාරාධිපති ස්වාමීන්වහන්සේ දිවා ආහාරය සූදානම් කිරීම නිසාය. රජරටට ආවේණික ආහාරවලින් සමන්විත දිවා ආහාරයක් ලබාගත් ජනාධිපතිවරයා එදින රාත්‍රිය අනුරාධපුරයේම ගත කළේය. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේට දානය ලබා දෙන්නේ ගිහියන් විසින් වුවද, භික්ෂුන් වහන්සේ නමක් විසින් ජනපතිවරයාට දානයක් දීම විශේෂයකි.
ජනාධිපතිගෙන් උපන්දින සාදයක්
මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම සඳුදා සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූයේ ජනාධිපති මන්දිරයේදීය. වෙනදාට ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වන කැබිනට් මණ්ඩලය ජනාධිපති මන්දිරයට ගෙන ගොස් තිබුණේ ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබීම නිසාය.
කැබිනට් මණ්ඩලයට මෙවර අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමැතිවරයාය. ඔහු කැබිනට් මණ්ඩලයට කැඳවා තිබුණේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගැනීමටය. ඔහුගේ කතාවෙන් පසුව ඇමැතිවරුන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දෙන ලදී. ඉන්පසුව ඔහු කැබිනට් මණ්ඩලයෙන් පිටතට පැමිණි අතර, සතියේ කැබිනට් පත්‍රිකා සලකා බැලුවේ ඔහු පිටත්ව යාමෙන් පසුවය.
සලාක ක්‍රමයට තෙල බෙදීම
තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමුවිය.
‘‘තෙල් මිල අඩු කරනවා කියලා සමහර මන්ත්‍රීවරුන් කියනවා. එහෙම නම් ලංකාවට තෙල් ගේන එක සීමා කරලා අර ඉස්සර තිබුණ වගේ සලාක ක්‍රමයට තෙල් බෙදන්න තමයි වෙන්නේ. එහෙම නම් අපි ඒ ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරමු’’උදය ගම්මන්පිල යෝජනා කළේය.
‘‘එහෙම වුණොත් තෙල් මිල වැඩි කරපු එකට වඩා වැඩියෙන් බැනුම් අහන්න වෙනවා’’මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කීවේ සිනාසෙමින්ය.
‘‘අපි තෙල් මිල වැඩි කළේ ඔය සේරම ගැන හිතලා. තෙල් ගෙන්වන්න අපිට ඩොලර් නෑ. ඒ නිසා නැවත වරක් තෙල් මිල අඩු කිරීම ගැන කතා කරන්න අවශ්‍ය නෑ’’ජනාධිපතිවරයා කීවේය.
‘මට සාගර ගැන දුකයි’ කියා ගම්මන්පිල සාගර කාරියවසම්ගේ දුක සැප විමසයි
කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මන්දිරයේ එක් කාමරයක පැවැත්වෙන විට මන්ත්‍රීවරුද ජනාධිපති මන්දිරයට පැමිණෙමින් සිටියහ. ඒ කැබිනට් රැස්වීමෙන් පසුව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද පැවැත්වීමට නියමිතව තිබූ නිසාය.
කැබිනට් රැස්වීම අවසන් කර ගම්මන්පිල හා වාසු පැමිණෙන විට සාගර කාරියවසම් මන්ත්‍රීවරයා දොර අසල අසුන්ගෙන සිටියේය.
‘‘ආ…. කොහොමද සාගර’’ගම්මන්පිල සාගරගේ පිටට තට්ටුවක් දමමින් ඇසුවේය. සාගර බිම බලාගත්තා මිස කිසිවක් කියන්න ගියේ නැත.
‘‘මට සාගර ගැන දුකයි. මොකද එයා දුන්න ලියුමකට අත්සන් කළා විතරයි’’ගම්මන්පිල කීවේ වාසු සමඟය.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ ප්රශ්නය ගැන කතා කරනු ඇතැයි අපේක්ෂා කළත් ජනාධිපතිවරයා ඒ සදහා ඉඩක් තැබුවේ නැත.
‘‘ජනාධිපතිතුමා ඔබතුමන්ලා හැමෝටම භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබෙනවා. ඒකත් බුක්තිවිඳලා යන්න’’මහින්ද කීවේ නැවත වාග් සංග්‍රාමයකට ඉඩ නොතබමින්ය.
උදය ගම්මන්පිල කෑමට සහභාගී නොවී පිටත්ව ගියේ රූපවාහිනී වැඩසටහනකට සහභාගීවීමට නියමිතව ඇතැයි කියමිනි.
ජෝක් එකක් වුණු ජාතිය ඇමතීම
ජනපතිවරයෙක් ජාතිය අමතන්නේ ඉතාමත් සුවිශේෂී අවස්ථාවන්හිදිය. අතීතයේ පටන් ජනපතිවරයෙකු ජාතිය ඇමතීම ඉතා ගාම්භීර දෙයකි. නමුත් ගෝටාභය ජනපතිවරයා එය ජෝක් එකක් බවට පත් කර ඇති බව ආණ්ඩුවේ මන්තීවරුද කතාවෙති. සජීව ලේබලය ගසා පටිගත කළ කතාවක් ජාතිය ඇමතීම ලෙස මාධ්‍යයට නිකුත් කරන ලදී. එය ෆේස් බුක් ඔස්සේද සජීව විකාශයක් ලෙස ප්‍රචාරය කළ අතර, ඒ සඳහා සමාජ මාධ්‍ය භාවිත කරන ජනතාවගෙන් ලැබුණේ ඉතාමත් සෘනාත්මක ප්රතිචාරයකි.
එම කතාව පටිගත කිරීමට පෙර එහි අඩංගු කරුණු සහිත ෆේස් බුක් පෝස්ට් ඒ වනවිටත් සකසා තිබිණ. කෙසේ නමුත් ජනපතිවරායාගේ මාධ්‍ය අංශය පෙරටත් වඩා ‘වලකට’ වැටී ඇති බව දැන් හැම දෙනාම කතා වන කරුණකි.
පවුලේ තීන්දුවට ඇතුළෙන්ම කැරැල්ලක්
මීළඟ ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ තරඟවැදිය යුතු බවටත්, එසේ තරග නොවදින්නේ නම් බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවටත් රාජපක්ෂ පවුලේ එකඟතාවක් ඇතිව තිබේ.
පසුගිය බදාදා දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවසේ පවත්වා ඇති සාකච්ජාවකදී මෙම එකඟතාව ඇතිව තිබේ.
මෙම සාකච්ජාවට ජනාධිපතිවරයාට අමතරව අගමැති මහින්ද රාජපක්ෂ සහ ඇම්ති චමල් රාජපක්ෂද එක්වුණු බව දැනගන්නට ඇත.
ඒ අතරම බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීම ගැනත් අවධානය යොමුවිය. ඊළඟ අගමැති සහ ජනපති වන්නේ නාමල් ද බැසිල් ද යන්න ගැටළුව මෑතක සිට රාජපක්ෂ පවුලේ අර්බුදයක් බවට පත්ව තිබිණ. බැසිල් එක හෙළා කියා සිටින්නේ 2024 දී තමා කෙසේ හෝ රටේ ජනාධිපති විය යුතු බවය. නමුත් මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසට දැඩි ලෙස උවමනාව ඇත්තේ නාමල් කෙසේ හෝ ‘පුම්බා’ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමය.
පවුල් පාලනය පිළිබඳව ජනතාව ජුගුප්සාජනක අන්දමින් විවේචනය කරද්දීත් නාමල් වැන්නෙකුට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දුන්නේ රටේ පාලනය ඔහුට ලබා දීමට පාර කැපීමටය. කෙසේ නමුත් බැසිල් තවමත් සිය ස්ථාවරය වෙනස්කරගෙන ඇතිබවක් පෙනෙන්නට නැත.
ඒ අනුව, 2024 ජනාධිපතිකම බැසිල්ට දී 2030 ජනාධිපතිවරණයට නාමල් ඉදිරිපත් කරමු යැයි රාජපක්ෂ පවුලේ අය පමණක් සාකච්ඡාකර තනි තීරණයකට එළඹ තිබේ. එහිදී පිටස්තර කිසිදු දේශපාලකයෙකුගේ හෝ පක්ෂයට සම්බන්ධ කිසිවෙකුගේ හෝ උපදෙස් ලබා ගෙන නොමැත.
කෙසේ වෙතත් මෙම තීන්දු සමග ආණ්ඩුවේ රැඩිකල් සහ ප්රගතිශීලී මතධාරී ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් රැසක් මේ පිළිබඳව දැඩි විරෝධය පළ කොට ඇති බව වාර්තා වේ.
තවදුරටත් එක පවුලක් වටා කේන්ද්‍රගත වූ දේශපාලනයෙන් මිදිය යුතු කාලය පැමිණ ඇති බව ඔවුන් විශ්වාස කරන අතර එබැවින් ඒ සඳහා නව කඳවුරක් නිර්මාණය කිරීමට ඔවුන්ගේ අවධානය යොමුව තිබේ .
මහින්දට මොළේ නැද්ද?
අතර පසුගියදා අභයාරාමයට පැමිණි රනිල් වික්‍රමසිංහ සමඟ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. රනිල්ගේ මොළයත් මහින්දගේ ඇඟත් එකට එකතු කර දේශපාලන ගමන ඉදිරියට යා යුතු බවට උන්වහන්සේ ප්‍රකාශ කිරීමත් සමඟම බොහෝ දෙනා ප්‍රකාශ කරන්නට පටන් ගෙන ඇත්තේ උන්වහන්සේ එයින් අදහස් කළේ මහින්ද රාජපක්ෂට මොළයක් නැති බව ද යන්නයි .
අනික් අතට රනිල් වැන්නෙකුගේ මොළයක් අරගෙන මහින්දට බද්ධ කිරීමට කතා කිරීමම මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී තිබේ. මහබැංකු වංචාව, පාස්කු ප්‍රහාරයේදී වගකීම් විරහිතව හැසිරීම වැනි බරපතල චෝදනා රැසක් ඇති රනිල් වික්‍රමසිංහගේ මොළය සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ හිමි ගේ තක්සේරුව පිළිබඳවද බොහෝ දෙනාගේ විමතිය සහ දැඩි උපහාසය එල්ල වී තිබේ.
බැසිල් වෙනුවෙන් බෙල්ල දෙන මන්ත්‍රීට මහ බැංකු අධිපතිකම
“සල්ලි කොතනද බැසිල් එතන” එහෙව් බැසිල්ට රටේ මුදල් අමාත්‍යංශය බාර දීම නරියාට කුකුල්ලු බාර දුන්නා වැනි බව ආණ්ඩු පක්ෂයේම බොහෝ දෙනා තැන තැන කසුකුසු ගාමින් සිටී. 2015 ට පෙර තිබුණු රාජපක්ෂ වැඩවසම් යුගය හා සමාන තත්ත්වයක් නැවතත් ප්‍රතිනිර්මාණය වී ඇති බව ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකුම මේ වනවිටත් තැන තැන කතා කිරීමට පටන් ගෙන ඇත.
ඒ අනුව ලබන සතියේදී බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දීමට නියමිතය. ඒ අතර එදින සවසම ඔහු මුදල් ඇමැතිවරයා ලෙස දිවුරුම්දීමට සූදානමින් සිටින්නේය. බැසිල්ට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි වියත් මගේ සාමාජික රංජිත් බණ්ඩාර මහාචාර්යවරයාය. පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට වඩා ඔහුගේ වැඩි කැමැත්ත තිබුණේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ධූරයටය. ඒ අනුව තමන්ට මුදල් අමාත්‍යාංශයේ ලේකම්ධූරය ලබා දෙන්නේ නම් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව මාස කිහිපයකට පෙර ඔහු කියා තිබුණේය.
කෙසේ වෙතත් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම වෙනුවෙන් ඔහුට ලැබීමට නියමිතව ඇත්තේ මහ බැංකුවේ අධිපතිධූරයයි. ඔහු එය ලබාගැනීමටද කැමැත්තෙන් සිටින බව සදහන්ය.
තාත්තා ඉපදුණු බලපිටියට ගිය සජිත්
කොරෝනා ව්‍යාප්තිය නිසා රට වසා දැමුවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරන ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන යළිත් සක්‍රීය කර තිබුණි.
කිළිනොච්චිය රෝහලට උපකරණ ප්රදානය කිරිමේ අවස්ථාවට සජිත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර තිබුණේය.
කුරුණෑගල රෝහලටත්, බලපිටිය රෝහලටත් උපකරණ ලබාදුන්නේ මේ සතියේදීමය. බලපිටිය රෝහලට උපකරණ ලබාදීමේ වැඩසටහනේ විශේෂත්වයක් විය. ඒ රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ උපන්දිනය නිමිත්තෙන් ඒ උපකරණ ප්රදානය සිදුවිය.
‘‘අපේ තාත්තා ඉපදුනේ බලපිටියේ. ඊට පස්සේ තමයි කොළඹට ආවේ’’සජිත් බලපිටිය රෝහලේ වෛද්‍යවරුන් සමඟ කීවේය.
සජිත් පාර්ලිමේන්තු ගිය මිනි කූපරය කාගේද?
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පාර්ලිමේන්තුවේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම ගම් මට්ටමින් ගන්නා ක්‍රියාමාර්ග ගැනද මෙහිදී වැඩි අවධානයක් යොමුවිය.
‘‘ආණ්ඩුව මේ තෙල් මිල වැඩි කළ එකට අපි ලොකු සටනක් කරන්න ඕන. පාර්ලිමේන්තුවේදී විතරක් නෙමෙයි ගම් මට්ටමින් සටන අරගෙන යන්න ඕන’’සජිත් ආරම්භයේදීම කීවේය.
‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතු කරගෙන අපි විරෝධතාවයක් කරන්න සූදානම් කරලා තියෙනවා. තෙල් මිල නිසා හැම වාහනයක්ම පාවිච්චි කරන ජනතාව පීඩාවට පත් වෙනවා. ඩිමෝ බට්ටෝ, බයිසිකල්, ත්‍රීවීල් වගේ පොඩි අය පාවිච්චි කරන වාහන අරගෙන ඇවිත් අපි රථ පෙළපාලියකින් විරෝධයක් දැක්වීමට සැලසුම් කරලා තියෙනවා’’නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විරෝධතාවය ගැන පැහැදිලි කළේය.
ඒ අනුව පසුදා සමගි ජන බලවේගය කාර්යාලය අසලට විවිධ වර්ගයේ වාහන පැමිණ තිබුණේය. ඩිමෝ බට්ටා, බයිසිකල්, ත්‍රීවීල් පමණක් නොව ඩෝසර්, ට්‍රැක්ටර් කාර්යාලය අසල නවතා තිබුණි
මේ අතර ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා මිනි කූපර් රථයකින් පැමිණ පක්ෂ කාර්යාලය අසල නැවැත්වූවේය. ඔහු එයින් බැස නොගොස් වාහනයටම වී සිටියේය.
මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පැමිණ එම වාහනයට ගොඩවීමට සුදානම් විය.
‘‘මේකෙ තමයි නායකතුමා යන්නේ’’ගයන්ත කී විට මයන්ත අසල තිබූ ඩෝසරයට නැග්ගේය.
ටික වේලාවකින් පැමිණි සජිත් ගයන්තගේ මිනි කූපරයට නැග්ගේය.
‘‘ඔබතුමයි මායි දෙන්නම එකට නේ පාර්ලිමේන්තු ආවේ’’ගයන්ත සජිත් සමග යන අතරවාරයේදී ආගිය කතා සිහිපත් කළේය.
‘‘ඒකාලේ අපි දෙන්නම එකට පාර්ලිමේන්තුවේ ඉදලා ගමේ යන්න පිටත් වෙනවානේ. ඔබතුමා ගාල්ලට යනවා. මම හම්බන්තොටටම යනවා’’සජිත්ද අතීතය සිහිපත් කළේය.
ධර්මසේන රෝහිණී නංවාගෙන ලැන්ඩ් මාස්ටරේ යයි
සරත් ෆොන්සේකා සහ අශෝක් අබේසිංහ ත්‍රීරෝද රථයකට නැග්ගෝය.
‘‘අනේ මහත්තයෝ අපිට පෙට්‍රල් ගහගන්න සල්ලි නෑ. ඒක නිසා භූමිතෙල් ගැලුමක් ගහගෙන මේකේ යනවා’’ෆොන්සේකා සිනාවෙමින් කීවේය.
ධර්මසේන මන්ත්‍රීවරයා ලෑන්ඩ්මාස්ටරය අතට ගත්තේය. හුරුපුරුදු අයෙක් ලෙස ඔහු එය රැගෙන ගියේ එක් පසෙකින් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය වාඩිකරගෙනය.
රෝහණ බණ්ඩාර විශාල ට්‍රැක්ටරයක රියදුරු විය. හර්ෂ ද සිල්වා ඩිමෝ බට්ටාගේ රියදුරු විය. ඉරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් තට්ටු ලොරියකට නැග්ගේය. තවත් මන්ත්‍රීවරු පිරිසක් බස් රථයකට ගොඩවිය.
ගයන්ත සමග පැමිණි සජිත් පාර්ලිමේන්තු වටරවුම අසලදී වාහනයෙන් බැස්සේය. ඔහු අසලට පැමිණියේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය.
‘‘සර් මෙන්න මනුෂ අප්සෙට් එකේ ඉන්නවා’’හරින් සිනාසෙමින් කියන විට මනුෂත් එතැනට ආවේය.
‘‘මොකද මනුෂ අප්සෙට් එකේ’’සජිත් ඇසුවේය.
‘‘ගයන්ත එක්ක වාහනේ ආවා කියලා’’හරින් කියන විට ‘‘ඔය බොරු සර්’’කියමින් මනුෂ විහිළුවට හවුල් විය.
මාකර් පෑන් පාර්ලිමේන්තුවේ හංගලා
පාර්ලිමේන්තුව රැස්වූ පළමු දවසේ විරෝධතා පැවැත්වූ නිසා දෙවැනි දවසේත් විරෝධතා නොපවත්වනු ඇතැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු සිතාගෙන සිටියහ. එහෙත් ආණ්ඩුවට සිතාගත නොහැකි ආකාරයට දෙවැනි දවසටත් විරෝධතාවයකට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සූදානම්ව සිටියහ.
මේ විරෝධතාවය සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තුවේදීය.
කලින් දවසේ සවස විපක්ෂ නායක කාර්යාලයට ගෙනවිත් තිබූ විශාල ප්‍රමාණයේ පුවරුවල විරෝධතා සටන් පාඨ ඇන්දේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකි. සටන් පාට ඇදීමට යොදා ගත්තේ මාකර් පෑනකි.
එය පාර්ලිමේන්තුවේ ආරක්ෂාකාරීව සඟවා තැබූ මන්ත්‍රීවරුන් පසුදා විපක්ෂ නායක කාර්යාලයට රොක්විය. ඒ විරෝධතාවය සංවිධානය කරගැනීමටය.
විරෝධතා පුවරු සභා ගැබට රැගෙන යාම එක කණ්ඩායමකට භාර විය. සජීවීව මෙය මාධ්‍යයට ලබාදීම තවත් මන්ත්‍රීවරයෙක්ට පැවරිණි.
පාර්ලිමේන්තුව ආරම්භවී විනාඩි දහයකින් පසුව ආරම්භවූ විරෝධතාවය අවසන්වූයේ පැය භාගයකට පමණ පසුවය.
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය
උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් කර තිබූ විශ්වාසභංග යෝජනාව භාරදුන්නේ විපක්ෂ නායක ලේකම් රවි ජයවර්ධන සහ ලක්ෂමන් කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාය.
විශ්වාසභංග යෝජනාව භාරදීමෙන් පසුව මන්ත්‍රිවරු විපක්ෂ නායක කාර්යාලයට රැස්වූහ.
‘‘දැන් මේක නිසා ආණ්ඩුවේ මන්ත්‍රීවරු හිර වෙනවා. උදය ගම්මන්පිල ඇමැතිවරයා කරපු දේ වැරදියි කියලා පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියනවානේ. ඒ අය ඇත්තටම විරුද්ධ නම් විශ්වාසභංගයට සහාය දෙන්න වෙනවා’’ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.
‘‘තෙල් මිල වැඩි කළාට පස්සේ ගෑස් මිලත් වැඩි කරන්න ආණ්ඩුවට උවමනා වුනා. ඒත් අපි කරපු විරෝධතාවය නිසා ගෑස් මිල වැඩි කිරීමේ තීරණය හකුලාගන්න ආණ්ඩුවට සිදුවුණා’’මරික්කාර් මන්ත්‍රීවරයා කීවේය.
‘‘ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය සම්පූර්ණයෙනම් හකුලා ගන්නා තෙක් අපි මේ විරෝධතා නතර කළ යුතු නැහැ. අපි සටන දිගටම අරගෙන යන්න ඕන’’සජිත් පැවසුවේය.
ඡායාරූපය අන්තර්ජාලයෙනි.