පොහොර මුදල් ගොවීන්ට බෙදා දෙයිද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සති අන්තයේ මහනුවර බලා පිටත්ව ගියේය. ඒ දළදා වහන්සේ වැඳ පුදාගෙන මහා නායක හිමිවරුන් හමුවීමටය. සෙනසුරාදා උදේ දළදා මාළිගාවට ගිය ජනාධිතිවරයා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ නිලංග දෑල විසිනි.
අස්ගිරි මල්වතු නායක හිමිවරුන් හමුවූ ජනාධිපතිවරයා එදින රාත්‍රියේ මහනුවර ජනාධිපති මන්දිරයේ ගත කළේය. මහනුවරදි මහා නායක හිමිවරුන් හමුවූ ජනාධිපතිවරයා කොළඹ පැමිණ ගොවි සංවිධාන නියෝජිතයෝ හමුවූහ.
‘‘රසායනික පොහොර ගෙන්වීම තහනම් කළේ හදිසියේම කියලා සමහරු කියනවා. හැබැයි මේක හදිසියේම ගත්ත තීරණයක් නෙමෙයි. රසායනික පොහොර ගේන්න අවුරුද්දකට මිලියන අසූදාහක් වැය කරනවා. මේ මුදල් ගොවීන් අතර බෙදා දෙන්න පුලුවන්’’ජනාධිපතිවරයා කීවේය.
පොහොර හිඟයක් නැතිලු
මේ සතියේ කැබිනට් මණ්ඩලයේදී ද පොහොර හිඟය ගැන අවධානය යොමු කරන ලදී.
‘‘අපිට දැන් ගම්වලට යන්න විදියක් නෑ. ජනතාව පොහොර ඉල්ලනවා’’ඇමැතිවරු කීහ.
‘‘රටේ කිසිම පොහොර හිඟයක් තියෙන්න විදියක් නැහැ. යල කන්නයට ඕන පොහොර ගෙන්නලා බෙදලා තියෙනවා. සමහර තැන්වල පොහොර සඟවලා. ඒක නිසා තමයි ඒක පොහොර හිඟයක් වගේ පේන්නේ. කොහේ හරි පොහොර හිඟයක් තියෙනවා කියලා කිව්වොත් අපිට එතැනට පොහොර යවන්න පුලුවන්’’මහින්දානන්ද උත්තර බැන්දේය.
බැසිල් එනවා
බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය ගැන රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පසුගිය සතියේදී කතා බහ කර තිබුණි. රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පමණක් එක්වූ සාකච්ඡාවකදී බැසිල්ට මුදල් ඇමැතිධූරය ලබාදීමට එකඟවී තිබිණ.
මේ අතර පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පසුගිය සතියේදි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාගේ නිවසට එක් වූහ. ඒ බැසිල් පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබද සාකච්ඡා කිරීමටය.
‘‘මේක තීරණාත්මක සාකච්ඡාවක්. බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. පසුපෙළ මන්ත්‍රීවරු විදියට අපි සාකච්ඡා කරලා බැසිල් මහත්තයාට පාර්ලිමේන්තු එන්න කියමු’’ප්‍රමිත කීවේය.
‘‘ප්‍රමිත අයියා කියන දේ මම පිළිගන්නවා. මම උදෙත් බැසිල් ඇමැතිතුමා එක්ක කතා කළා. අපි මේ වැඩේ එතුමාට හානියක් නොවන විදියට කරන්න ඕන’’සංජීව එදිරිමාන්න කීවේය.
‘‘මමත් එතුමට කතා කළා. එතුමා එන්නේ ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි හයියක් වෙන්න කියලා තමයි කිව්වේ’’නිපුණ රණවක මන්ත්‍රීවරයා කීය.
‘‘අපි මේ වෙලාවේ ලිපියක් ලියලා එතුමාට පාර්ලිමේන්තු එන්න කියලා ආරාධනාවක් කරමු’’මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කළහ.
එහෙත් ඒ යෝජනාවට තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය දැක්විය.
‘‘එහෙම ආරාධනා කරන්න අවශ්‍ය නෑ. දැන් තියෙන අවශ්‍යතාවය එතුමා දන්නවා. ඒ නිසා පණිවුඩයක් විතරක් යවමු’’අවසානයේදී ඒ යෝජනාවට පිරිස එකඟ විය.
බැසිල්ට අරලියගහ මන්දිරය
මේ සතියේ බැසිල් රාජපක්ෂ ඇමැතිධූරයක දිවුරුම්දීමෙන් පසුව ඔහුගේ කාර්යාලය ලෙස අරලියගහ මන්දිරය පවත්වාගෙන යාමට සූදානම් වෙමින් තිබේ. ඒ අනුව ඇමැතිවරයෙක්ට අවශ්‍ය ආකාරයට අරලිගහ මන්දිරයේ කොටසක් සූදානම් කරමින් තිබෙන බවද සඳහන්ය.
ඒ අනුව ඇමැතිවරයාගේ කාර්යාලයට යාබදව රැස්වීම් පැවැත්විය හැකි ශාලාවක් ද සූදානම් කර ඇත්තේ අරලියගහ මන්දිරයේ සිටම අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරගෙන යාමටය.
වියත්මග නාමල්ට දෙන්න එපා!
ජනාධිපතිවරයා විසින් නිර්මාණය කළ වියත්මග සංවිධානයේ ප්‍රධානියා ලෙස නාමල් රාජපක්ෂ පත්කිරීමටත්, එම සංවිධානය නාමල්ට ලබාදීමටත් රාජපක්ෂ පවුල කතිකා කරගෙන තිබුණි.
‘‘වියත්මග සංවිධානයේ සභාපතිත්වය නාමල්ට දෙන්න’’වියත්මගේ විධායක සභාව කැඳවූ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
‘‘එහෙම එකපාරට මේක නාමල්ට දෙන්න එපා. ඔබතුමා සභාපතිත්වයේ ඉඳගෙන මෙහෙයුම් කටයුතු නාමල්ට දෙන්න’’ජනාධිතිවරයාගේ යෝජනාවට ප්‍රතිවිරුද්ධ යෝජනාවක් මතුවිය.
‘‘මේ වෙලාවේ නාමල්ට මේක දෙන එක ඥාණාන්විත වැඩක් නෙමෙයි’’ බහුතරය සිටියේ ජනාධිපතිවරයාට විරුද්ධ පාර්ශවයේය.
අවසානයේදී වියත්මග නාමල්ට දෙනවාද නැද්ද යන්න තීරණයකින් තොරව සාකච්ඡාව අවසන්විය.
කෙසේ වෙතත් මේ සාකච්ඡාවට වියත්මග නිර්මාණය කළ නාලක ගොඩහේවා ඇමැතිවරයා සහභාගී වී සිටියේ නැත.
ලක්ෂ පන්සීය පැන්න විපක්ෂයේ හුස්ම
පසුගිය අප්‍රේල් 8 වෙනිදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආරම්භ කළ “විපක්ෂයෙන් හුස්මක්”රෝහල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාර වැඩසටහන මේ වනවිට අදියර 19ක් සපුරා තිබේ.
“මේ පොඩි කාලෙට අපි රුපියල් ලක්ෂ පන්සීයකට එහා රෝහල් උපකරණ බෙදලා තියෙනවා”
සජිත් රාජිත සමග කීවේ 19වන විපක්ෂයේ හුස්මට එක් වෙමිනි.
“බලාගෙන ගියාම ඔබතුමා හිතාගන්න බැරි වැඩ කොටසක් කරලනේ”
රාජිත පුදුමයෙන් කීවේය.
“මේක මගේ වැඩක් නෙවේ. මේ වැඩේට උපකාර කරන හැමෝටම මේකේ ගෞරවය හිමි වෙනවා. සමහරු කියනවා ආණ්ඩුව කරන්න ඕන වැඩ අපි කරනවා කියලා. ඔව් ඒක තමා අපේ වෙනස. අපි වචනෙට විපක්ෂයක් නෙවේ. අපි නූතන විපක්ෂයක්” සජිත් කීවේය.
ගෝටා ජාතිය අමතන්න කලින් සජිත් ගෝටා අමතන්න ගහපු ප්ලෑන
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතීමට සූදානම් වන බවට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසට කල් තියාම ආරංචි විය.
“හෙට ජනාධිපතිවරයා ජාතිය අමතනවා”
සජිත් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට කීවේය. ඒ එක්කම ඔහු මේ පිළිබඳව ඇත්ත නැත්ත සොයා දැනගත්තේය.
‘‘එහෙනම් ජනාධිපතිතුමා මේ වෙලාවේ රටේ ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටලු හයකටම විසදුම් ලබාදේවිනේ’’ මහ ලේකම් කීවේය.
‘‘එහෙම කරන එකක් නෑ. ඒත් අපි බලකරමු. සමාජයේ පහළම තලයේ සිට ඉහළම තලය දක්වා ජනතාව තෙල් මිල ඉහළ යෑම තුළ පීඩනයට අසහනයට අසරණභාවයට පත්වෙලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් නැවතත් වරක් තිබුණු මිලටම තෙල් මිල පහළ දමන්නට කටයුතු කරයි කියන කාරණාව. ඒ වගේම පොහොර නැති ගොවීන්ට පොහොර ලබාදීම, අර ගිනිගත්ත නැව නිසා රැකියා අමිහිවුණු ධීවරයින්ට සහන ලබාදෙන ආකාරය විතරක් නෙමෙයි මුහුදු පරිසරය ආරක්ෂා කිරීමට ගන්නා පියවර ගැනත් ජනාධිපතිවරයා කියන්න ඕන. ඔන්ලයින් අධ්‍යාපනය නිසා පීඩාවට පත් ළමුන්ට සහන ලබාදෙන ආකාරය, කොරෝනා මර්දනයට ගන්නා පියවර ගැන ජනාධිපතිවරයා කරුණු ඉදිරිපත් කරන්න ඕන’’ සජිත් එහෙම කීවා පමණක් නොව විශේෂ ප්‍රකාශයෙන් කරමින්ද එය අවධාරණය කළේය.
රාත්‍රී ජනාධිපති ජාතිය අමතන්නට පෙර සජිත් පෙරවරුවේ ජනාධිපතිව ඇමතුවේ විශේෂ ප්‍රකාශයෙන් ය.
ඔහු සයවැදෑරුම් ඉල්ලීමක් කිරීමත් සමග ජනාධිපතිවරයාගේ කතාව පිළිබඳව බොහෝ දෙනා උනන්දු වුවද කතාවේ තිබුණේ පුස්සකි.
ජනාධිපති වගේම මාධ්‍ය අංශයත් අසමත්
ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව අවසන්වූ වී විනාඩි දහයක් යාමට පෙර මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සූම් ඔස්සේ සාකච්ඡාවට එක්වූයේ ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම ගැන අවධානය යොමු කිරීමටය.
‘‘තෙල් මිල හැට නමයකින් වැඩි කරලා විනාඩි හැට නමයක් ජාතිය ඇමතුවා’’හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වේලාව සටහන් කරගෙන තිබුණි.
‘‘දැන් ජනාධිපතිට හතර වටේම තියාගෙන බනිනනවා. මේ නිසා මාධ්‍යයට අලුතින් බඩු දෙකක් දැම්මා. ඒ දෙන්නටත් බෑ කියලා තේරුණාට පස්සේ මම බෙල්ල දෙන්නම් කියලා ජනාධිපති මද්දුමබණ්ඩාර වගේ ඇවිත් ජාතිය ඇමතුවා. ඊට පස්සේ හිටියාටත් වඩා නෝන්ඩි වුණා. රටේ වෙන්නේ මොකක්ද කියලා ජනාධිපතිවරයා දන්නේ නෑ’’රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කීවේය.
‘‘එකපාරක් සැමන් – පරිප්පු දෙන්න ජාතිය ඇමතුවා. සැමන් ටින් එකෙන් අනෙක් එකාගේ ඔලුවට ගහලා තමයි සැමන් ටින් එක ගන්න පුලුවන් වුණේ’’නලින් බණ්ඩාර කීවේ සිනාසෙමින්ය.
‘‘මම සේරම සැලසුම් කරලා තමයි කරන්නේ කියලා ජාතියට කියනවා. සැලසුම කොතරම් හොඳද කියනවා නම් රිවස් කරපු ගැසට් තොගයෙන්ම ඒක පේනවා’’මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේය.
මේ අතර සජිත්ද කතාබහට එක්විය.
‘‘ජාතිය ඇමතීමේ කතාවෙන් පෙනුනේ ආණ්ඩුවේ නොහැකියාව විතරයි. රටේ අවධානයට යොමුවිය යුතු කරුණු කිසිවක් ගැන ඔහු අවධානය යොමු කළේ නෑ’’සජිත් පැවසුවේය.
‘‘අර කොහේද යන්නේ. මල්ලෙපොල් කතාවක් තමයි ජනාධිපතිතුමා ඇවිත් කිව්වේ’’රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
‘‘ජනාධිපතිවරයෙක්ට ජාතියක් අමතලා මේ විදියට බොරු තොගයක් කියන්න පුලුවන් වුණේ කොහොමද දන්නේ නෑ. අපේ ආණ්ඩුව කාලයේ ආරම්භ කරපු අධිවේගී මාර්ග තමන්ගේ එකක් වගේ විවෘත කරන හැටි ගැන කිව්වා. තවත් මාර්ග කිලෝමීටර ලක්ෂයක් හදන හැටි ගැන කියනවා. මේවාට මුදල් වෙන් කරලා නැහැ. පට්ටපල් බොරු තොගයක් දෙසා බෑවා’’කබීර් හෂීම් ජනාධිපතිවරයාගේ කතාවට ප්‍රතිචාර දැක්වූවේය.
‘‘ආර්ථිකය ගැන කියපු කතාවල ඇත්තක් තියෙනවාද?’’ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ඇසුවේ හර්ෂ ද සිල්වා මන්ත්රීවරයාත් සාකච්ඡාවට එක්ව සිටි නිසාය.
‘‘ආර්ථික වර්ධනය ගැන බොරු තොගයක් ඇවිත් කිව්වා. ජනාධිපතිවරයා මේ කතාව ලියලා දුන්නේ කවුද දන්නේ නෑ. හරිනම් ජනාධිපතිවරයා ගිහින් ඇයි තමුසේ මට මෙහෙම පට්ටපල් බොරු තොගයක් ලියලා දුන්නේ කියලා කතාව ලියපු කෙනොගෙන් අහන්න ඕන’’හර්ෂ ආර්ථිකය ගැන විග්‍රහයක් කළේය.
‘‘ඉස්සරහට එන දවස් තුන අරගෙන ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවේ තියෙන බොරු කතා ටික ජනගත කරන්න’’සජිත් උපදෙස් දුන්නේය.
අසේල සම්පත් සරම එළියට ගෙන සජිත්ට පෙන්නයි
සමාජ ක්‍රියාකාරී අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ නිවසින් රැගෙන ගොස් තිබෙන බවට සජිත්ට දුරකතන ඇමතුමක් ලැබුණේ ඔහු රැගෙන ගොස් විනාඩි කිහිපයක් ඇතළතදීය. ඔහු වහාම ජනාධිපති නීතීඥ උපුල් ජයසූරියට කතා කළේය.
‘‘උපුල්, අපේ නීතීඥ කණ්ඩායමත් එක්ක එකතුවෙලා මේක ගැන සොයා බලන්න’’සජිත් නීතිමය කටයුතු කිරීමේ වගකීම ඔවුන්ට පැවරුවේය.
දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරකම්වල යෙදෙන නීතීඥයින් කණ්ඩායමක් මැදිහත්වී ඔහුට ඇප ලබාගැනීමට කටයුතු කළේය.
ඇප ලැබුණු වහාම අසේල සම්පත් පැමිණිය් විපක්ෂ නායක කාර්යාලයටය.
‘‘සර් බලන්න මේ මම ඇඳපු සරම පිටින් කුදලාගෙන ගියේ’’අසේල සම්පත් තමන්ගේ බෑගයේ තිබූ සරමක් එළියට ඇද සජිත්ට පෙන්වූවේය
‘‘දැන් ළමයි මොනවාද කරන්නේ’’ඔහු සමග පැමිණ සිටි දරුවන්ගෙන් සජිත් ඇසුවේය.
‘‘මම දැන් ශ්‍රීපාලි කැම්පස් එකේ. මල්ලි ඒ ලෙවල් ලියනවා’’අසේලගේ දියණිය කීවාය.
‘‘මම ඔයාට ශිෂ්‍යත්වයක් දෙන්නම්. මල්ලිට ඉගෙනගන්න ටැබ් එකක් අරගෙන දෙන්නම්’’සජිත් පොරොන්දු විය.
ඔහුගේ පොරොන්දුව දින දෙකකින් ඉටු කළේය.
‘‘ඇත්ත කතා කරන්න කොයිම වෙලාවකවත් බය වෙන්න එපා. බොරු කියන්න එපා. ඇත්ත කියන්න’’සජිත් අසේලට කීවේය.