ලොව සෑම රටකම මාධ්‍ය නිදහස සුරැකීම වෙනුවන් පෙනී සිටින අන්තර්ජාතික සංවිධානයක් වන Reporters without Borders (Reporters Sans Borders/ප්‍රංශ භාෂාවෙන් Reporters Sans Frotiers/ RSF) විසින් 2021 වර්ෂය සඳහා නිකුත් කළ “මාධ්‍ය මර්දකයින්” ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂද ඇතුළත් වී ඇත. මෙම ආයතනය විසින් සිය රටවල දරුණු අන්දමින් මාධ්‍ය මර්දනය සිදු කරනු ලබන ‘මර්දකයින්’ 37 දෙනෙකු හඳුනා ගෙන ඇත. මෙම පාලකයින් හෙවත් මර්දකයින් ඔවුන් හඳුන්වා ඇත්තේ Predators ලෙසයි.
ඒකාධිපති පාලනයක් ගෙනයන චීනය මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හතරවන ස්ථානයට පත්ව ඇත. චීනය මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීම ප්‍රතිශතයක් ලෙස 78. 72%කි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස උල්ලංඝනය වීමේ ප්‍රතිශතය 42.20%කි.
එම ආයතනය විසින් 2021 වසර සඳහා සිය වෙබ් අඩවියේ පළ කරන ලද වාර්තාවේ ශීර්ෂ පාඨය ” පැරණි භීෂකයින්, කාන්තාවන් දෙදෙනෙකු සහ යුරෝපීයෙක්” ලෙස සඳහන් විය. එම ලැයිස්තුවේ සඳහන් පාලකයින් සියළු දෙනාම මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් දැඩි ලෙස අන්තර්ජාතික අපකීර්තියට පත් වූ පුද්ගලයින් වීම විශේෂයකි. වාරණය, මාධ්‍යවේදීන් සිරගත කිරීම, වධ හිංසා පැමිණවීම සහ මරා දැමීම ආදි ක්‍රමවලින් ඔවුන් මාධ්‍ය මර්දනය සිදු කරන බව වාර්තා වී ඇත. එම පාලකයින් බොහෝ දෙනෙකු මෙම සාපරාධී ක්‍රියා සඳහා සෘජුව දායක නොවුවද ඔවුන්ගේ බලල් අත් භාවිතයෙන් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සිදු කරන බවත් එහි සඳහන් වේ.

අබ්දෙල් ෆතහ අල් අසිසි- ඊජිප්තුව, ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කො- බෙලාරුස්, අල් කමෙනෙයි- ඉරානය, බෂර් අල් අසද්- සිරියාව, කැරී ලාම්- හොංකොං, ඩැනියෙල් ඕටෙගා- නිකරගුවා, එමොමාලි රක්මොන්- තජිකිස්තාන්, ගෝටාභය රාජපක්ෂ- ශ්‍රී ලංකාව, ගුබන්ගුලි බර්ඩි මොකමෙදෙව්- තුර්කිමේනිස්තානය, හමීඩ් බින් ඊසා අල් කලීෆා- බහරේනය, හුන් සෙන්- කාම්බෝජය, ඉල්හාම් අලි එව්- අසර්බයිජානය, ඉම්රාන් ඛාන්- පාකිස්තානය, ඉස්මයිල් ඔමාර් ගුල්ලේ- ජිබුති, ඉසායියාස් අෆ්වර්කි- එරිත්‍රියාව, ජෙයා බොල්සොනාරෝ- බ්‍රසීලය, කිම් ජොන් උන්- උතුරු කොරියාව, ලී සියෑන් ලූන්- සිංගප්පූරුව, මිගුඑල් ඩයස් කැනෙල්- කියුබාව, මින් අවුන් ලයින්- මියෙන්මාරය, මොහොමඩ් බින් සල්මාන්- සවුදි අරාබිය, නරේන්ද්‍ර මෝදි- ඉන්දියාව, ගුයෙන් පූ ත්‍රොන්- වියෙට්නාමය, නිකොලස් මදුරො- වෙනිසියුලාව, පෝල් බියා- කැමරූන්, පෝල් කගමේ- රුවන්ඩාව, ප්‍රයුත් චන්-ඕ-චා- තායිලන්තය, රම්සාන් කඩිරොව්- රුසියාවේ චෙචෙන් ජනරජය, රෙසෙප් ටය්යිප් අර්දොගාන්- තුර්කිය, රොඩ්රිගෝ දුතෙර්තේ- පිලිපීනය, සැල්වා කීර්- දකුණු සුඩානය, ෂෙයික් හසීනා- බංගලාදේශය, තියඩෝර් ඔබියන් බසෝගො- ගිනි රාජ්‍යය, වික්ටර් ඔර්බන්- හංගේරියාව, ව්ලැඩිමියර් පුටින්- රුසියාව, ෂී ජින් පිං- චීනය, යොවෙරි මුසෙවෙනි- උගන්ඩාව වේ.
ගෝටාබය රාජපක්ෂගේ මර්දක ක්‍රමවේදය ලෙස ඔවුන් හඳුන්වන්නේ “ඝාතක කල්ලිය” (Death Squad) යි.
“2019 නොවැම්බර් මාසයේ ගෝටාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති බවට පත් වීමෙන් පසු ශ්‍රී ලංකාවට නැවතත් උදා වූයේ ඒ අඳුරු යුගයයි. විශ්‍රාමලත් යුධ හමුදා ලුතිනන් කර්නල්වරයෙකු වන ඔහු සිය සහෝදරයා ජනාධිපති ධුරය දැරූ 2005-2015 කාලය තුල ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් ‘අඳුරු දශකයක්’ නිර්මාණය කළේය” යනුවෙන් එහි සඳහන් වේ. එම වාර්තාවේ තවදුරටත් සඳහන් වන අන්දමට, ‘සුදු වෑන් කල්ලිය’ නමින් හැඳින්වූ ඝාතක කල්ලිය මෙහෙය වූයේද ගෝටාභය රාජපක්ෂය. සුදු වෑන්වලින් මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමෙන් නොනැවතී ඔවුන් ඝාතනය කිරීමද ගෝටාභයගේ අණපරිදි සිදුවූ බව සඳහන් වේ.
එම වාර්තාවේ මෙසේද සඳහන් වේ. “ආරක්ෂක ලේකම් ලෙස එවන් සාහසිකකම් කළ ගෝටාභය රාජපක්ෂ නැවතත් සිය පැරණි යක්ෂයා අවදිකර ඇත. ඒ ජනාධිපතිවරයා ලෙස ආරක්ෂක අමාත්‍යධුරය සියතට ගනිමිනි” මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම, මාධ්‍ය ආයතනවලට කඩා පැනීම සහ මරණ තර්ජන එල්ල කිරීමද සිදු කර ඇත. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මේවන විට ස්වයංවාරණයකට යටත්ව කටයුතු කරන්නේ වර්තමාන ජනාධිපති ගෝටාභයගේ පැටිකිරිය ඔවුන් හොඳින් දන්නා නිසා බව Reporters Sans Borders සංවිධානය පෙන්වා දේ. කෙසේ වෙතත් වර්තමානයේ මාධ්‍ය මර්දනයට පෙරටත් වඩා ඔහුට දැන් බලයක් ඇති බව මාධ්‍යවේදීන්ද නොදන්නවා නොවේ.
ගෝටාබයගේ මාධ්‍ය මර්දනයේ වින්දිතයින් බවට පත්වන්නේ සංවේදී කාරණා පිළිබඳව ජනතාව දැනුවත් කරමින් නිර්භයව සිය කාර්යභාරය ඉටු කරන මාධ්‍යවේදීන් බව එහි සඳහන් වන අතර, ගෝටාභය රාජපක්ෂ ජනාධිපති වීමත් සමඟ ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් දැවැන්ත ගැටළු රාශියකට මුහුණ දී ඇති බවත් සඳහන් ය. “ඔවුන් තම රැකියාව කරමින් සිටිනවාද එහෙමත් නැත්නම් ජීවිතය අනතුරේ දමා ගනිමින් සිටිනවාද? ඔවුන්ට ජීවත් වීමට සිදුව ඇත්තේ ගෝටාභයගේ අණින් ඝාතනය වූ සහෝදර මාධ්‍යවේදීන්ගේ අවතාර සමඟයි. ඔවුන් බිය යුතු කාරණාව නම් ගෝටාභය තවදුරටත් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මර්දනය කරමින් සිටීමයි.” RSF වාර්තාවන්ට අනුව ගෝටාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ අවම තරමින් මාධ්‍යවේදීන් 14 දෙනෙකුවත් ඝාතනය කරන්නට හෝ අතුරුදන් කරන්නට ඇත. තවද, මරණ තර්ජන සහ වධ හිංසා හේතුවෙන් 20කට අධික මාධ්‍යවේදීන් පිරිසක් රටහැර ගොස් ඇත.
අන්තර්ජාතික මාධ්‍ය ගෝටාබය රාජපක්ෂ හඳුන්වන්නේ “ඝාතකයා” (Terminator) ලෙසයි. ඒ ඔහුගේ අතීත මෙන්ම වර්තමාන ක්‍රියාකලාපය හේතුවෙනි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ඉතා අවම මට්ටමක පවතින්නේ රාජපක්ෂ පාලන කාලය තුලය. එය මහින්ද රාජපක්ෂ හෝ වේවා ගෝඨාභය රාජපක්ෂ හෝ වේවා, රාජපක්ෂ පවුලේ පාලන කාලවලදී කැපී පෙනෙන ලක්ෂණයකි. Reporters Without Borders ආයතනය පවසන්නේ රාජපක්ෂවරුන්ගේ මාධ්‍ය භීෂණයට එරෙහිව මාධ්‍යවේදීනට යුක්තිය ඉල්ලා යන්නට තැනක් නැති බවය.
එම වාර්තාවේ අවසානයේ ශ්‍රී ලාංකීය මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් මෙසේ සඳහන් වේ.
“භීෂණය යළි කරලියට!” Terror is Back!
තසී-