සටහන සහ ඡායාරූප පංචමී හේවාවිසෙන්ති
දියබත් පිළිබඳව අප දන්නා දේ මෙන්ම නොදන්නා දේ ද බොහෝයි. රාත්‍රීයේ ආහාරයට ගෙන ඉතිරිවූ බත්වලට වතුර දමා පසුදින එයට පොල්කිරි, ලූනු සහ අමු මිරිස් කපා දමා ලුණු එක්කර සකසන ආහාරය දියබත් බව අප දනිමු. එමෙන්ම ගැස්ට්‍රයිටිස් රෝගයට දියබත් ප්රත්යක්ෂ ඖෂධයක් බවත් අප දනිමු. දියබතක් සෑදීමට දැනුම තිබුණද, නිවැරැදිව දියබත් සකසා ගන්නා ආකාරය පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්නවා ඇත. දියබත් ආහාරයට ගන්නේ එහි ඇති රසය නිසා පමණක් නොව, එහි තිබෙන ඖෂධීය ගුණය ද අපගේ සිරුරට ලබා ගැනීමටයි. දියබත් ආහාරයක් මෙන්ම ඖෂධයක් ද වේ. එනිසා රසයට මෙන්ම ගුණයටද මුල්තැන් දී දිය බත් සැකසිය යුතු වේ.
දියබත අපි හදන්නේ වැරදියටද?
ඉහත සඳහන් කළ පරිදි බොහෝ දෙනා වර්තමානයේ දියබත් සකසා ගන්නේ රයිස් කුකරයේ හෝ ඇළුමිනියම් වළඳක පිසූ බත්වලට පොල්කිරි, ලුණු, ලූනු සහ අමුමිරිස් එක්කර ගැනීමෙනි. නමුත්, ලෙඩ රෝග සුව කිරීමට දියබතක් සැකසීමේදී එහි නියම ගුණය රැකගන්නට නම් දියබත සැකසිය යුත්තේ බොහෝ දෙනා වර්තමානයේ දියබත සකසනවාට වඩා වෙනස් අයුරිනි.
ඒ පිළිබඳව අදහස් දැක්වූ දේශීය වෛද්‍ය ශ්‍රී පාලිත ගීගන ආරච්චි මහතා දක්වන්නේ මෙවන් අදහසකි. “දියබත සකසන බත පිස ගන්න ඕන මැටි මුට්ටියක. ඇලුමිනියම් මුට්ටිවල හෝ රයිස් කුකර් එකක උයාගන්න බතෙන් අපට නිසි ගුණය අපේක්ෂා කරන්න අමාරුයි. අතීතයේ ඉතා ජනප්‍රිය ශක්තිජනක සහ ඖෂධීය ගුණ පිරුණු ආහාරයක් වුණු දියබත් සකසා ගත්තේ මැටි මුට්ටියේ ඉතිරි වූ බත්වලින්. ඒ වගේම දියබතට බත් මුට්ටියේ ඉතිරි වුණ දංකුඩත් ගන්නවා. දැන් කාලේ දියබත්වලට අමුමිරිස් කෑලි කපලා එක්කළාට දියබතට ගම්මිරිස් තමයි එක්කරන්න ඕන. එතකොට තමයි දියබතේ නියම ගුණය ගන්න පුළුවන් වෙන්නේ. ඒත් අද බොහෝ දෙනෙක් පුරුදුවෙලා ඉන්නේ දියබතට අමු මිරිස් දාන්න”
අමු මිරිස් වෙනුවට ගම්මිරිස්?
ගම්මිරිස්වල ඇති ඖෂධීය ගුණය නිසා මිරිස් වෙනුවට ගම්මිරිස් අපේ ආහාරයට එක්කර ගත හැකි නම් ඉන් ලබාගත හැකි ප්‍රතිපල බොහෝයි. වර්තමානයේ අප මිරිස් කුඩු සහ කෑලි මිරිස් භාවිතයෙන් වෑංජන සැකසුවද, අතීතයේ ආහාර පිසීමේදී බහුලව එක්කරගන්නා ලද්දේ ගම්මිරිස්. වර්තමානයේ අපේ දිනපතා ආහාරයෙන් ඇත් වුණු ගම්මිරිස් සතුව ප්‍රති ඔක්සිකාරක ඇතුළු ගුණ රාශියක් තිබේ. ගම්මිරිස් සතුව පිළිකා නැසීමේ ගුණය, කැස්ස හෙම්බිරිස්සාව සුව කිරීමේ මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ගුණයක් ද ඇත. එනිසා අමු මිරිස් හා සැසඳීමේදී ගම්මිරිස් සතුව වැඩි ගුණයක් පවතී. ඖෂධීය ගුණ පිරි දියබතක් සැකසීමේදී අමු මිරිස් වෙනුවට ගම්මිරිස් එක්කරන්නේ එනිසාය.
බත් දංකුඩ
වෛද්‍ය ගීගන ආරච්චි මහතා පවසන අන්දමට නිවැරදිවම දියබතක් සැකසීමට නම් බත් දංකුඩ කොටසත් එයට එක්කරගත යුතු වේ. ඒ දංකුඩ සතුව ඇති සුවිශේෂී ගුණය නිසයි. “මුට්ටියේ අඩියෙ තියෙන රොස් වෙච්ච බත් ටිකෙන් තමයි දියබත් හදන්නෙ. අඩියෙ තියෙන පිච්චුණ බතේ තියෙන කාබන් කියන්නේ භෂ්මයක්. පැය 7-8ක් කුසගින්නේ ඉන්නකොට අපේ ආමාශයේ පැය ගණනක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්රාවය වෙන නිසා උදෑසන අපේ ආමාශය ඉතාමත් ආම්ලිකයි. ඒ ආමාශය භාෂ්මීකරණය කරන්න ඕන. ඒ නිසා තමයි බත් දංකුඩේ කොටස දියබතට එක්කරන්න ඕන”
ශ්‍රී ලාංකීය සම්ප්‍රදායට අනුව, නිවසේ පළමුවෙන්ම ආහාර පිළිගන්වනු ලබන්නේ පිරිමි උදවියටයි. එසේත් නැත්නම් නිවසේ ගෘහ මූලිකයා වන තාත්තාටයි. එයට හේතුව ඔහුට තිබෙන ගෞරවය පමණක් නොව, ඒ හා සම්බන්ධ විද්‍යාත්මක පදනමකි. (අතීතයේ විද්‍යාව දියුණු නොවූවද, ඔවුන්ගේ සෑම ක්‍රියාවක් පිටුපසම විද්‍යාත්මක පදනමක් තිබිණ) බත් මුට්ටියේ සහ වෑංජන හට්ටියේ ඇති බත් සහ වෑංජන නිවසේ පිරිමි උදවියට පිළිගන්වා ඉතිරිය කාන්තාවන් ආහාරයට ගන්නේත් හේතුවක් ඇතුවයි.
“කතාවක් තියෙනවානේ කෙල්ලන්ට දංකුඩේ දෙන්න කියලා. කොහොමත් අපේ නිවෙස්වල පිරිමි උදවියට කෑම බෙදලා වළඳේ යටට වෙන්න තියෙන කොටස තමයි කාන්තාවන් ආහාරයට ගන්නේ. අතීතයේ ඉඳන් ඒ වගේ සම්ප්රදායක් හැදිලා තියෙන්නේ කාන්තාවට අඩු සැලකිල්ලක් දක්වන්න නෙවෙයි. ඇත්තටම කිව්වොත් හොඳම පෝෂණය කාන්තාවන්ට දීම තමයි ඒකෙ අරමුණ” වෛද්‍ය ගීගන ආරච්චි පවසන්නේය.

මෙහි තිබෙන විද්‍යාත්මක පදනම නම් බත් මුට්ටියක උඩින්ම තිබෙන කොටස ශරීරයට ඉක්මනින්ම අවශෝෂණය වී සිරුරට අවශ්‍ය ශක්තිය නිදහස් කිරීමයි. ඒ අනුව සිරුර වෙහෙස වී වැඩ කරන පිරිමි උදවියට අවශ්‍ය ශක්තිය ලබා දීමට ඉක්මනින් අවශෝෂණය වී ශක්තිය ලබා දෙන බත් මුට්ටියේ උඩින්ම ඇති කොටස ලබා දීම අතීතයේ සිට සිදු කෙරුණු දෙයකි.
“දංකුඩේ කියන්නේ බතේ තියෙන බර කොටස. හාල්වල තියෙන යකඩ, බැරලෝහ වගේ දේවල් මුට්ටියේ අඩියේ තැන්පත් වෙනවා. ඒ නිසයි ඉස්සර වෙලාම පිරිමින්ට බෙදලා දෙන්නේ ඉක්මනින් අවශෝෂණය කරගෙන ශක්තිය නිදහස් කරන්න පුළුවන් වෙන බත් මුට්ටියේ උඩ කොටසේ ටික”. වෛද්‍ය ගීගන ආරච්චි මහතා පවසන ආකාරයට හොදි හට්ටියේ කතාවද එයට සමානය.
” වෑංජනයට එක්කරන තුනපහ සහ ඛනිජ ලවන හොදි හට්ටියේ අඩියේ තමයි එකතු වෙන්නේ. කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී සිරුරෙන් ඉවත් වෙන යකඩ සහ ඛනිජලවන නැවත සිරුරට ලබා ගන්න එය උපකාරී වෙනවා. ඒ අතින් බැලුවම බත් මුට්ටියේ දංකුඩෙයි, හොදි හට්ටියේ අඩියේ තියෙන ටිකයි තමයි වැඩි ගුණයක් තියෙන කොටස. ඒකයි ඒවා කාන්තාවන්ට දෙන්නේ පිරිමින්ට වඩා කාන්තාවන්ට පෝෂණ ගුණය වැඩියෙන් ඕන නිසා”
තවද, දියබත කැකුළු හාලෙන් පිසූ බතකින් පිළියෙලකර ගන්නේ නම් එහි ගුණය වැඩිය.
දියබතේ ගුණ
විද්‍යාත්මකව බලනකල දංකුඩ යොදා සකසන දියබත පෝෂණ ගුණයෙන් ඉහළය. මැටි මුට්ටියක පිසූ බතක දංකුඩයෙන් සකසන දිය බතේ වැඩි ඖෂධීය ගුණයක් පවතී.
බත් දංකුඩවලින් සකසන දියබතේ ගුණ පිළිබඳව වෛද්‍ය ගීගන ආරච්චි මහතා මෙසේ ද පවසයි,
” අපේ පැරැන්නන් දියබත් වගේම හීල් බතුත් කෑවා. බතක් හීල් වෙන්න හීල් වෙන්න ක්ෂුද්‍රජීවි ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. එතකොට බත්වල කාබෝහයිඩ්රේට සරල සීනි බවට පත් වෙනවා. ඒක ඉක්මනින් ජිර්ණය වෙනවා. උදේට ආම්ලිකව තිබෙන ආමාශයට එක්වරම බර ආහාරයක් දානවට වඩා බඩ සිසිල් කරන දියබත් හෝ හීල්බත් වගේ දෙයක් කෑමට ගන්නවා නම් හොඳයි. දියබත් අපට වැඩි ශක්තියක් දෙනවා. අක්මාවේ සහ පිත්තාශයේ ක්‍රියාකාරිත්වය වැඩි කරලා ආම්ලිකබව අඩු කරනවා. අම්ල පිත්ත රෝගයට හොඳයි. ආහාර දිරවන්න අපහසු අයට, ශරීරයේ දැවිල්ල, දාහය තියෙන අයට, මල බද්ධය, අර්ශස් තිබෙන පුද්ගලයින්ට දියබත් නිතරම ආහාරයට එක්කර ගැනීමෙන් ගුණ ලැබෙනවා. ඒ වගේම තමයි මනස වැඩිපුර වෙහෙසලා වැඩ කරන අයට මානසික සහනයක් ලබා දෙන්නත් දියබත් උදව් වෙනවා. ඇඟ සිසිල් කරනවා, තුන්දොස් සමනය කරනවා”
අපේ පැරැන්නන් හීල්බත් පිඟානක් කාලා සිරුර වෙහෙසලා කෙතේ කුඹුරේ වැඩ කළේ එයින් ඔවුනට ලැබුණු ශක්තිය නිසා. උදේට හීල්බත් පිඟානක් එහෙමත් නැත්නම් දියබත් පිඟානක් කාලා හේනට කුඹුරට ගියාම වෙහෙස මහන්සියක් නැතුවම වැඩ කරන්න ඔවුන්ට හැකි වුණා.
උදෑසනට කෙටි කෑම හෝ පිටි කෑම වෙනුවට දියබත් කන්න පුරුදු වෙනවා නම්, රෝග රැසක් සමනය කරගන්න හැකිවන බව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අදහසයි. ඔබත් ඖෂධීය දියබතක් නිවැරැදිව සකසා රස විඳින්න.
දියබත් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
පෙර දා රාත්‍රියේ පිසූ දංකුඩ සහිත බත් කෝප්ප 2ක්
පොල්කිරි කෝප්පයක්
රතු ලූනු ගෙඩි 3ක්-4ක් පමණ
ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්
ලුණු අවශ්‍ය පමණ
දෙහි ඇඹුල්
සාදාගන්නා ආකාරය
පෙරදා රත්‍රියේ : මැටි මුට්ටියේ ඉතිරි වී ඇති දංකුඩ සහිත බත්ටික යාන්තම් වැසෙන්නට පිරිසුදු වතුර ටිකක් දමා වසා උදෑසන වනතුරු තබන්න.
පසුදා උදෑසන: පෙරදා රාත්‍රියේ වතුර දමා තිබුණු බත්ටිකට වතුර අවශෝෂණය කරගෙන පිම්බී ඉදිමී තිබෙනු දක්නට ලැබේ. වතුරද සිඳී ඇත. මේ බත්ටික මුට්ටියෙන් ඉවත් නොකර එයටම පොල්කිරි (මිටිකිරි ), සිහින්ව ලියා ගත් රතුලූනු සහ ගම්මිරිස් කුඩු එක්කරන්න. සැර රසය අවශ්‍ය පමණ ගම්මිරිස් එක්කරගත හැක. දැන් එයටම අවශ්‍ය නම් දෙහි යුෂ ස්වල්පයක් එක්කර රස පමණට පමණ ලුණු ද දමා හොඳින් කලවම් කරගන්න.
දියබත් ඖෂධීය ගුණපිරි රසවත් උදෑසන ආහාරයකි.