සියලු දෙනාම අපේක්ෂා කළ පරිදි බැසිල් රාජපක්ෂ මේ සතියේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දීමට පාර්ලිමේන්තුවට පැමිණියේය. සැබවින්ම ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ ඇමැතිවරයෙක් ලෙසය. ඒ පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර ඔහු මුදල් අමාත්‍යධූරයේ දිවුරුම්දීම නිසාය.
බැසිල් පාර්ලිමේන්තුවට පැමිණියේ ජයන්ත කැටගොඩ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීම නිසාය. ජයන්ත කැටගොඩට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාදී තිබුණේම බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු පැමිණීමටය.
බැසිල්ට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි වෙන්න මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ට ඉල්ලා අස්වෙන්නැයි විවිධ දේශපාලන නියෝජිතයින් විසින් ඉල්ලීම් කර තිබුණි. මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා තමන්ට මහ බැංකු අධිපතිධූරය හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ධූරය ලබාදෙන්නේ නම් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව පවසා තිබුණි. තවත් අයෙක් එයට අදිමදි කර තිබුණි.
කෙසේ වෙතත් අවසානයේදි ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූවයේය.
කැටගොඩ ඉල්ලා අස්වීමත් නැකතට දෙයි
ජයන්ත කැටගොඩ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට පැමිණියේය. ඔහු සමඟ නිමල් ලන්සා හා සාගර කාරියවසම් ද විය. ඔවුන් මහින්ද හමුවීමට ගියේ පෙර දැනුම්දීමක් නොකරමය.
‘‘මොකද ජයන්ත මේ හදිසියේම’’මහින්ද ඇසුවේය.
‘‘බැසිල් සර්ට පාර්ලිමේන්තු එන්න මම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙනවා’’කැටගොඩ කීවේය.
‘‘ඔයා ඕක හොඳට හිතලා ගත්ත තීරණයක්ද?’’මහින්දගෙන් තවත් ප්රශ්නයකි.
‘‘ඔව් සර්. මම මුල ඉඳලම බැසිල් සර්ට සීට් එක දෙන්න බලාගෙන හිටියේ’’කැටගොඩ උත්තර බැන්දේය.
‘‘ඔයා අස්වෙනවනම් මොකක් හරි තනතුරක් ඔයාට දෙන්න වෙනවා’’මහින්ද කීවේ කැටගොඩට දෙන තනතුර ගැන අවධානය යොමු කරමින්ය.
ඔවුන් ඉන්පසු පැමිණියේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හමුවූ කැටගොඩ ඔහුට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේය. ඒ නැකැත් වේලාවක් බලාය.
ඉන් පසුව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා මැතිවරණ ලේකම් කාර්යාලයයට ගියේ බැසිල් රාජපක්ෂගේ නම මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටය.
බැසිල්ට 61ක්
බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස නම් කරමින් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කරනවිට ජනාධිපතිවරයා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ අමාත්‍යාංශ සංශෝධනයක් වෙනුවෙන්ය. බැසිල් රාජපක්ෂ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය ගැසට් කර තිබූ අතර, මහින්ද රාජපක්ෂට ක්‍රම සම්පාදන අමාත්‍යාංශය ලබා දී තිබුණි.
මුදල් අමාත්‍යාංශයට ආයතන හැට එකක් ගැසට් කර තිබූ අතර මහින්ද රාජපක්ෂට ගැසට් කර තිබුණේ ආයතන දහයක් පමණි. ඒ අතර ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන සමබ්න්ධීකරණය කිරීම වැනි වගකීම් ඔහුට ගැසට් කර තිබුණි. ඒ අතරම මොහාන් පී. සිල්වාගේ පොහොර අමාත්‍යාංශයේ තිබූ ආයතන කිහිපයක් ඔහුගෙන් ගලවා ශෂීන්ද්‍ර රාජපක්ෂගේ අමාත්‍යාංශයට ඇතුළත් වන සංශෝධනය ද විය.
බ්‍රහස්පතින්දා උදෑසනම බැසිල් ගියේ අරලියගහ මන්දිරයටය. මහින්ද හමුවී ඔහුට වැඳ ආශිර්වාද ලබාගත් බැසිල් මහින්දගේ වාහනයේම නැඟී ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ ඇමැතිධුරවල දිවුරුම්දීමටය.
මුලින්ම මුදල් අමාත්‍යාංශයේ දිවුරුම් දුන්නේ බැසිල් රාජපක්ෂය. ඉන් පසුව මහින්ද ක්‍රම සම්පාදන ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. දිවුරුම්දීමෙන් පසුව සහෝදරයින් තිදෙනා එක්ව ඡායාරූපයක්ද ගැනීමට අමතක කළේ නැත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පාර්ලිමේන්තුවට මහින්ද හා බැසිල් පැමිණියේද එකම වාහනයකින්ය.
කාටවත් නැති දොරක් බැසිල්ට අරියි
බැසිල්ට සුබ පැතීම සදහා ආණ්ඩුවේ මැති ඇමැතිවරු කොරිඩෝව අසලට වී සිටියහ. මන්ත්‍රීවරුන් සමඟ ටික වේලාවක් කතාබහ කළ බැසිල්, අගමැතිවරයාගේ කාර්යාලයයට ගොස් මහින්ද සමඟ ටික වේලාවක් සිටියේ නැකත එනතුරුය. මන්තී‍්‍රවරයෙක් ලෙස දිවුරුම්දීමට තිබූ නැකැත ළඟා වූ විගස ඔහු සභා ගැබට ගියේය.
බැසිල් සභා ගර්භයට පිවිසියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට භාවිතා කරන දොරටුවෙනි. එම දොරටුවෙන් සාමාන්‍යයෙන් වෙනත් මන්ත්‍රීවරුන් සභා ගැබට පිවිසෙන්නේ නැත.
කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන් බැසිල්ට හිමිවූයේ පාර්ලිමේන්තුවේ නම වැනි අසුනයි. ඒ අසුනේ මින් පෙර සිටියේ පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියයි. ඒ අනුව බැසිල්ගේ එක පසෙකින් පවිත්‍රා සිටින අතර අනෙක් පසින් ජනාධිපතිවරයාගේ අසුන තිබේ. ජනාධිපතිවරයාගේ අසුනට යාබදව ඇත්තේ අගමැතිවරයාගේ අසුනයි. ඒ අනුව රාජපක්ෂ සහෝදරයින් තිදෙනෙක්ටම එක පෙළට අසුන් හිමිවී තිබේ.
සුභ පැතුවත් බණින අගමැති
බැසිල්ට මන්ත්‍රීවරුන් සුබ පැතුවත් මහින්දට සුබ පතන්න ගියේ නැත. එහෙත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මහින්ද ළඟටත් ගොස් අලුත් ඇමැතිධුරයක දිවුරුම්දීම ගැන සුබ පැතුවේය.
‘‘මට මොකටද සුබ පතන්නේ. මුදල් ඇමැතිකම නැතිවුණු නිසාද?’’මහින්ද තරමක කේන්තියෙන් අසන විට මන්ත්‍රීවරයා එතැනින් පැත්තකට ගියේ වැඩි යමක් නොකියාමය.
බැසිල් පාර්ලිමේන්තු එන විට ‘ලැජ්ජාවක් ඇතිනම් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට රිංගන්නේ නැතැ’යි කී විමල් වීරවංශ ඇමැතිවරයා පාර්ලිමේන්තු පැමිණ සිටියේ නැත. උදය ගම්මන්පිල ඇමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියත් තමන්ට ඉහළින් සිටිනේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා පමණක් බවත්, තමන්ට වෙන කිසිවෙක්ටවත් නියෝග ලබාදිය නොහැකි බවත් ප්‍රසිද්ධියේම පැවසුවේය.
ජනාධිපති කොටස් වශයෙන් හමුවේ
බැසිල් පාර්ලිමේන්තුවට පැමිණිමත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කොටස් වශයෙන් හමුවීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින්නේය. ඒ අනුව සඳුදා දිනයේ සිට මන්ත්‍රීවරුන් විසි දෙනා බැගින් හමුවීමට ජනාධිපතිවරයා කටයුතු සූදානම් කර ඇත.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් වෙනම කණ්ඩායම් ලෙස හමුවීමට නියමිතව ඇත.
දයාසිරි යයිද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්විය. පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ආණ්ඩුව විවේචනය වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම නිසා මේ තත්ත්වය ආන්දෝලනාත්මක වී තිබුණි.
‘‘අපේ මහලේකම්තුමා කියන කතා නිසා ආණ්ඩුව ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයකට ලක් වෙලා තියෙනවා’’චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කීවේය.
‘‘ඒක ඇත්ත’’මහින්ද අමරවීර ඇමැතිවරයාත් ඒ කතාව අනුමත කළේය.
‘‘මම නිසා අර්බුද ඇතිවෙනවා නම් ඇමැතිකමෙන් අයින් වෙන්නම්. පක්ෂයට ඕන කෙනෙක් ඒකට දාගන්න. මම මහලේකම් විදියට විතරක් වැඩ කරන්නම්. හැබැයි මතක තියාගන්න මම මේ කියන්නේ පක්ෂයේ බිම් මට්ටමේ සිටින අයගේ මතය. ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න එපා කියන එක තමයි ඒ අය කියන්නේ’’දයාසිරි සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව කීවේය.
එහෙත් මධ්‍යම කාරක සභාව ඒ යෝජනාවට එකඟ නොවීය. ඔවුන් පැවසුවේ දයාසිරි ඉල්ලා අස් නොවිය යුතු බවය.
ජනතාව මර්දනය කරන ආණ්ඩුව
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සුපුරුදු පරිදි මේ සතියේ පැවැත්වූයේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකදීය. පාර්ලිමේන්තුවේ කටයුුතු පිළිබඳව මෙන්ම දේශපාලන තත්ත්වය පිළිබඳවද මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමුවිය.
කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන මර්දනකාරී වැඩපිළිවෙල කෙරෙහි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස අවධානය යොමු කළේය.
‘‘මේ ආණ්ඩුව ජනතා මර්දනයෙන් ඉදිරියට යන්න උත්සාහ ගන්නවා. විරෝධතා මර්දනය කරමින් ජනතා මතය යට ගැසීමට ගන්නා උත්සාහයට එරෙහිව අපි නැගී සිටිය යුතුයි’’සජිත් කීවේ මර්දනයට එරෙහිව පුළුල් ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යා යුතු බව පවසමිනි.
ඒ අනුව සජිත් පාර්ලිමේන්තුව තුලදීත් ඉන් පිටතදීත් ආණ්ඩුවේ මර්දනයට එරෙහිව හඬ නැගුවේය. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එල්ල වූ තර්ජනය පිළිබඳව මෙන්ම විරෝධතා පැවැත්වීම නිසා අත්අඩංගුවට ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් ගැනද ඔහු පාර්ලිමේන්තුවේදී කතා කළේ විපක්ෂ නායකයා යනු එක් පක්ෂයක නායකයෙක් නොව විපක්ෂයේ සියලුම පක්ෂ වෙනුවෙන් පෙනී සිටින නායකයා බව පෙන්වමිනි.
ඒ අතරම පාර්ලිමේන්තුව ඉදිරිපිටදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතාවයක්ද සංවිධානය කරන ලදී.
මේ අතර සමගි ජන බලවේගයට සහාය දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉලක්ක කරගෙන එල්වන තර්ජන ගැනත් මන්ත්රීකණ්ඩායමේ අවධානය යොමුවිය.
‘‘මේ මන්ත්‍රීවරුන් ඡන්දයට ආවේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒත් අපිත් එක්ක තමයි ඉන්නේ. ඒ අයගේ මන්ත්‍රීධුර අහෝසි කරලා බය කරන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා’’කබීර් හෂීම් පැවසුවේය.
‘‘විපක්ෂයේ වැඩ කරන පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කළාට පොහොට්ටුවත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. ගාල්ල නගර සභාවේ පොහොට්ටුවත් එක්ක එකතුවෙලා ඉන්න මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කරලා නෑ. ඒත් ගම් මට්ටමින් ආණ්ඩුවට විරුද්ධ වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරලා’’මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය.
‘‘මේ මන්ත්‍රීධූර අහෝසි කරලා තියෙන අයත් එක්ක තමයි ගමේ මිනිස්සු ඉන්නේ. මොන අභියෝග ආවත් ඒ අය සමගි ජන බලවේගය අතහැරලා ගියේ නෑ. ඒ නිසා මේ අය ආරක්ෂා කරගත යුතුයි’’ මේ බ්‍රහස්පතින්දා සිය විවාහ සංවත්සරය සැමරූ නලින් බණ්ඩාර පැවසුවේය.
සජිත් මන්ත්‍රීවරුන්ට උගන්වන්න ලෑස්ති වෙයි
‘‘ඉදිරියේදී කොහොමත් පළාත් පාලන මැතිවරණයක් එනවානේ. ඒ නිසා ලංකාවම නියෝජනය වන ආකාරයට පළාත් පාලන අපේක්ෂකයින්ගේ නාම යෝජනා කැඳවමු’’ලක්ෂමන් කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ගෙන ආ යෝජනාවට මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය හිමිවිය.
‘‘නාම යෝජනා කැඳවීමට අදාල කටයුතු ඉදිරි සති දෙක ඇතුළත සූදානම් කරන්න’’සජිත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.
‘‘නාම යෝජනා කැඳවන වනකොට මන්ත්‍රීධූර අහෝසි කළ හැත්තෑ දෙනාට ප්‍රමුඛත්වය දෙන්න’’තලතා අතුකෝරළ කළ ඉල්ලීමත් සියල්ලෝම පිළිගත්හ.
‘‘අපේ මන්ත්‍රීවරුන්ගේ උසස් අධ්‍යාපනය නැංවීමට අපි කටයුතු කරන්න ඕන. ඒ ගැන මම විශ්ව විද්‍යාලයක් එක්කත් කතා කළා. ඒවට අවශ්‍ය සියලුම ප්‍රතිපාදන පක්ෂය විසින් දරනවා’’සජිත් මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනය ගැන දැක්වු අවධානය සියල්ලන්ගේම අගය කිරීමට ලක් විය.
මන්නාරමටත් විපක්ෂයෙන් හුස්මක්
විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහිිකිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන ‘ජන සුවය’ ව්‍යාපෘතිය යටතේ රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් මන්නාරම දිස්ත්‍රික් රෝහලට ප්රදානය කරන ලදී.
මෙම උපකරණ ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වන්නැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට කල් ඇතිවම ආරාධනා කර තිබුණි. ඒ අනුව එම්.ඒ. සුමන්තිරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ගෝවින්දන් කරුණාකරම් සහ ශානක්‍යන් රාසමාණික්කම් පැමිණ සිටියහ.
‘‘ආණ්ඩුව උතුරේ ජනතාව අමතක කරනකොට ඔබතුමා උතුරේ ජනතාව වෙනුවෙන් මේ වගේ දෙයක් කිරීම අගය කරන්න ඕන’’සුමන්තිරන් සජිත්ට කීය.
‘‘දකුණේ ජනතාව වගේම උතුරේ ජනතාවත් මේ රටේ ජනතාව කියන එක මම අමතක කරලා නෑ’’සජිත් කෙටියෙන් බරපතල දේශපාලන කතාවක් කීවේය.
‘‘මේවා ආණ්ඩුවෙන් කරන්න ඕන වැඩ. ආණ්ඩුවෙන් ඒ දේවල් වෙන්නේ නැතිවෙලාවක විපක්ෂ නායකතුමා විදියට ඔබතුමා මේ කරන දේ ජනතාවට ගොඩක් වටිනවා. ඒ වගේම විපක්ෂයේ ඉන්න අපේ පක්ෂයත් මේ දේවල්වලට සම්බන්ධ කරගන්න එක ගැන ස්තුතිවන්ත වෙන්න ඕන’’රාසමානික්කම් සජිත්ට ස්තුති කළේය.
අනුරගේ ප්‍රශ්නයට සජිත් මැදිහත් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක ඉල්ලා තිබුණේය. එහෙත් ඒ වෙනුවට ආණ්ඩුවේ මන්ත්‍රී රංජිත් බණ්ඩාර විසින් ගෙන එන යෝජනාවක් ලෙස එම විවාදය ලබාදීමට ආණ්ඩුව සූදානම් විය. මේ බවට තොරතුරු ලැබුණු වහාම පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව අවධානය යොමුවිය.
‘‘මේ විවාදය ඉල්ලුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා. එතුමා ඉල්ලපු විවාදයක යෝජනාවක් ආණ්ඩුවේ මන්ත්‍රීකෙනෙක් ගෙනැත් හරියන්නේ නැහැනේ. එතුමා ඉල්ලුවේ එතුමාට යෝජනාව ගේන්න ඕන නිසා. ඔය විවාදය ඉල්ලුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී. ඒකේදි ගත්ත තීන්දු තීරණ හරියට ක්‍රියාත්මක කරන්න’’සජිත් ඉල්ලුවේය.
එහෙත් ආණ්ඩු පක්ෂයෙන් කීවේ තමන් එම යෝජනාව ගෙන ඒමට සුදානම් බවය. කතානායකවරයාත් ආණ්ඩුවේ කීම පිළිගෙන යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට සූදානම් විය.
‘‘කතානායකතුමනි, ඔබතුමා කතානායක පුටුවේ ගරුත්වය රකින්න. රූකඩයක් වීම ඔබට හොද නෑ’’සජිත් පාර්ලිමේන්තුවේදී කීවේය.
මේ අතර සජිත් පාර්ලිමේන්තුවේ සිටියදී පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතා කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තාවිය. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස පී.සී.ආර්. පරීක්ෂණක් නොකර ඔවුන් නිරෝධායනයට දුර බැහැර ප්‍රදේශයකට රැගෙන යාමට උත්සාහ ගන්නා බවටද ඔහුට තොරතුරු ලැබුණේය.
‘‘අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර හාමුදුරුවොයි, ලංකා ගුරු සේවා සංගමයේ ජෝසප් ස්ටාලින් ඇතුළු තිස් එක් දෙනෙක් මේ විදියට අරගෙන යන්න හදනවා. මේක තමයි ආණ්ඩුවේ මර්දනයේ අලුත්ම මුහුණුවර. නිරෝධායනයට යවලා ආණ්ඩුවට විරුද්ධව කටවත් අරින්න එපා කියලා ජනතාවට තර්ජනය කරනවා’’සජිත් කීවේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමගි ජන බලවේගය කටයුතු කරන බවය.
ගයන්තට පොලිස් ඇමැතිගේ අංකය මොකටද?
ආණ්ඩුව විසින් විපක්ෂයේ විරෝධතා මර්දනය කිරීමට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව සංවිධානය කළ විරෝධතාවයක් නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී පැවැත්වුනේ සිකුරාදා සවසය. එයට සහභාගීවීමට පෙර මන්ත්‍රීවරු විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සිටියහ.
නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කල් ඇතිව නිදහස් චතුරශ්‍රයට ගොස් අවශ්‍ය කටයුතු සොයා බලා දුරකතනයෙන් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාට දැනුම් දුන්නේ අනෙක් මන්ත්‍රීවරුන්ද සමග පැමිණෙන ලෙසය.
‘‘කවුරු ළගවත් සරත් වීරසේකර ඇමැතිතුමාගේ අංකය තියෙනවාද’’ගයන්ත අනෙක් අයගෙන් විමසුවේය.
‘‘මොකටද අංකයක්’’තවත් මන්ත්‍රීවරයෙක් ඇසුවේය
‘‘නෑ..අපි නිරෝධායනයට අල්ලගෙන ගියොත් ඇදුම් ටිකක් ගෙන්නගන්න පුලුවන්නේ’’ගයන්ත කීවේ සිනාසෙමින්ය.
ටික වේලාවකින් තලතා අතුකෝරළ මන්ත්රීවරියද එතැනට ආවාය.
‘‘මම නම් ගයන්ත ඉන්න තැනක තමයි ඉන්නේ’’තලතා කීවාය.
‘‘ඇයි ඒ’’තවත් අයෙක් ඇසුවේය.
‘‘නෑ..එයත් එක්ක හිටියොත් බේරිලා ඉන්න පුලුවන්. බේරෙන විදිය ගයන්ත දන්නවා’’තලතා කීවේ සිනාසෙමිනය්.