“ඔබට හැම දෙනාම සතුටු කළ නොහැක. ඒ ඔබ තන්දූරි චායි නොවන නිසයි” ඉන්දියාවේ තන්දූරි චායි විකිණීමට තිබෙන ‘තේ කඩවල’ මෙසේ සඳහන් ‘බෝඩ්’ දැක ගත හැකිය. තන්දූරි චායි එසේත් නැත්නම් තන්දූරි තේ, ශ්‍රී ලංකාවේ අපට අලුත් දෙයක් වුවත් සැබවින්ම අමෘතය හා සමාන ‘තේ එකකි’. තන්දූරි චිකන් අපට හුරුපුරුදු නමක් වුවද, එවැනි නමක් තිබෙන තේ එකක් අපට නුහුරුය. ‘තන්දූරි චිකන්, තන්දූරි තේ..දෙකම තන්දූරි…ඒ දෙකටම දාන්නේ එකම අමුද්‍රව්‍ය ද?” තන්දූරි චිකන් කන්නට කැමති එහෙත් තන්දූරි චායි එහෙමත් නැත්නම් තන්දූරි තේ ගැන පළමු වතාවට ඇසූ හිතවතෙක් මාගෙන් පෙරළා එසේ ඇසුවේය. තන්දූරි තේ ගැන නොදන්නා අයෙකුට එක්වරම මතකයට එන්නේ තන්දුරි චිකන් වීම පුදුමයක් නොවේ. නමුත් මේ දෙකේ තිබෙන සමානකම යොදා ගන්නා අමුද්‍රව්‍ය නොව, මේ දෙකම පිළියෙළ කිරීමට භාවිතා කරන උපකරණයි.
තන්දූරි චායි මුල්වරට මා හට රස බලන්නට ලැබුණේ ඉන්දියාවේ පූනේහි “තන්දූරි චායි” කඩයකිනි. ඒ චායි කඩයට මා ගොඩවූයේ තන්දූරි චායි රස බැලීම කෙසේ වෙතත්, මේ ‘අමුතු තේ’ එක හදන්නේ කොහොමදැයි බැලීමටය. විශාල මැටි උඳුනක ගිනියම් වූ අඟුරු මත තැබූ කුඩා මැටි කෝප්ප රාශියක් එහි විය. අඬුවක් ආධාරයෙන් උඳුනෙන් ගිනියම් වූ මැටි බඳුනක් ඉවතට ගත් ‘චායි වාලා” (තේ හදන පුද්ගලයා) එම කෝප්පය තවත් භාජනයක් මත තබා ජෝගුවකට දමා ගෙනා උණු තේ එම කුඩා මැටි කෝප්පයට වත් කරන්නට විය. කෝප්පයෙන් පෙන නඟිමින් තේ උතුරා යන්නට විය. රසය කෙසේ වෙතත්, තන්දූරි චායි පිළියෙල කරන ආකාරය බලා ඉන්නට ආසා හිතෙන දර්ශනයකි. තප්පර කිහිපයකින් උතුරා යෑම අවසන්වන අතර තේ කෝප්පයේ යළි යථා තත්ත්වයට පත් වේ.
තන්දූර් යනුවෙන් හඳුන්වන්නේ උඳුනකි. එය අතීතයේ මැටියෙන් සකසන ලද අතර වර්තමානයේ යකඩයෙන් තනන ලද උඳුන්ද දක්නට ලැබේ. මෙය සිලින්ඩරාකාර හෝ අණ්ඩාකාර හැඩයකින් යුක්තය. මෙම උඳුන තුලට අඟුරු හෝ දර දමා උඳුන රත්කර ආහාර බේක් කර ගැනීම හෝ පුළුස්සා ගැනීම සිදු කරනු ලබයි. තන්දූරි චිකන් යනුවෙන් හඳුන්වන්නේ මෙම උඳුන තුලට දමා පුළුස්සා ගන්නා කුකුල් මස්ය. තන්දූර් යනු පර්සියානු භාෂාවේ එන ‘තනූර්’ යන වචනයෙන් බිඳී ආවකි. තනූර් යනු මැටි උඳුනයි.
මෙම තන්දූර් මැටි උඳුනේ දමා ඉහළ උෂ්ණත්වයකට රත්කර ගන්නා මැටියෙන් සකසන ලද කෝප්පවලට වත් කරන තේ ‘තන්දූරි චායි’ හෙවත් ‘තන්දූරී තේ’ යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහිදී උතුරන තේ ගිනියම් වූ මැටි කෝප්පයකට දමා පානය කරනු ලබයි. මෙම තේ එකට සුවිශේෂී රසය ලැබෙන්නේ ගිනියම් මැටි බඳුන්වලට උණු තේ වත් කිරීම නිසා තේ තවදුරටත් එම මැටි කෝප්පය තුල උතුරන්නට පටන් ගන්නා නිසාය. කුඩා මැටි කෝප්පයට උතුරන තේ වත්කරනවාත් සමඟම මැටි බඳුනේ අධික රස්නය නිසා එය නැවත වරක් පෙන දමමින් කෝප්පයෙන් ඉවතට උතුරා යනු දක්නට ලැබේ.
ගිනියම් කරන ලද මැටි කෝප්පය තවත් බඳුනක් මත තබා උණුසුම් තේ එයට වත් කිරීම සිදු කරයි. එවිට උතුරා පිටතට ගලා යන තේ නැවත එම කෝප්පයටම දැමිය හැක. තන්දූරි චායි පිළියෙළ කරනවිට අනෙකුත් සෑම අවස්ථාවක මෙන්ම භාජන පිරිසුදුව තිබිය යුතුය.
ගිනියම් වූ මැටි කෝප්පයකට වත් කරන උණු තේවලට මැටි බඳුනේ ඇති රසයත් එකතු වීම නිසා මෙය සුවිශේෂී රසයකින් යුක්ත වේ. නමුත් මෙහි අධික රස්නය නිසා කට පුච්චා නොගෙන බීමට නොහැකිය.
තන්දූරි චායි ඉතා මෑතකදී ඉන්දියාවේ ජනප්‍රිය වූ තේ වර්ගයක් ලෙස සැලකිය හැක. ඉන්දියාවේ මාහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේහි අවන්හලකදී ප්‍රථම වරට තන්දූරි චායි ලොවට හඳුන්වා දෙන ලදී.
අවශ්‍ය ද්‍රව්‍ය
එළකිරි කෝප්ප 2ක්
වතුර කෝප්ප 1ක්
තේ කොළ මේස හැන්දක්
සීනි තේ හැඳි 2ක්
එනසාල් කරල් 2ක්
කුරුඳු කැබැල්ලක්
ගම්මිරිස් ඇට 3ක් පමණ
කරාබු නැටි 1ක්
සූදුරු තේ හැඳි 1/2ක්
සාදික්කා ස්වල්පයක්
වියළි ඉඟුරු
කුඩා මැටි කෝප්ප 2ක්
බේ ලීෆ් කොළ 2ක්
සාදාගන්නා ආකාරය
භාජනයක් ලිපතබා එනසාල්, කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි, සූදුරු, බේ ලීෆ් සහ වියළි ඉඟුරු දමා විනාඩි 2ක් පමණ මඳ ගින්නේ රෝස්ට් කරගන්න. භාජනය ලිපෙන් බාගෙන රෝස්ට් කරගත් කුළුබඩු හොඳින් කොටා පසෙකින් තබා ගන්න.
කුඩා මැටි කෝප්ප 2ක් (දෙදෙනෙකු සඳහා) ගෙන එය දැවෙන අඟුරු මත තබා විනාඩි 10ක් හොඳින් රත්කර ගන්න. (මෙය ගෑස් ලිපක් භාවිතයෙන් වුවද කළ හැක. නමුත් ගෑස් ලිපේ දැල්ල සහ ගෑස් සිරුරට එතරම් හිතකර නොවිය හැක.) එසේත් නැත්නම් ලොකු මැටි බඳුනකට දැවෙන අඟුරු දමා එතුලට කුඩා මැටි කෝප්ප දමා රත්කර ගත හැක.
මැටි කෝප්ප රත්වන අතරතුර තවත් මැටි භාජනයක් ලිපතබා එයට වතුර එක්කර උතුරුවා ගන්න. එයට කොටාගත් කුළුබඩු ටික දමා උතුරුවා ගෙන තේ කොළ එක්කරන්න. ඉන්පසු සීනි සහ කිරි එක්කර උතුරුවා ගන්න. ඉන්පසු සාදික්කා ස්වල්පයක් එක්කරගන්න. එසේ උතුරුවා ගත් තේ පෙරාගෙන නැවත ලිපෙන් තබා රත්වන්නට හරින්න.
දැන් විනාඩි 10ක් පමණ ගිනියම් වූ මැටි කෝප්පයක් අඬුවක් ආධාරයෙන් පිටතට ගෙන තවත් මැටි බඳුනක් මත තබා උතුරන තේ එයට වත් කරන්න. එවිට කෝප්පය තුල තේ නැවතත් උතුරමින් පිටතට පැමිණේ.කෝප්පයෙන් පිටතට වෑස්සුණු තේ ද නැවත භාජනයට දමන්න. උණු උණුවේම පිළිගන්වන්න. මඳක් නිවෙනතුරු සිට පානය කරන්න.
ඉන්දියාවේ පූනේ නගරයට නොයා නිවසේදීම තන්දූරි චායි සකසා රස බලන්න. මෙය ඔබට අමතක නොවන අත්දැකීමක් වනු නොඅනුමානය.
තන්දූරි චායි සැකසීම, සටහන සහ ඡායාරූප පංචමී හේවාවිසෙන්ති