ඇහැළියගොඩ ජාතික පාසලේ අධ්‍යාපනය ලබන රශ්මි නිමේෂා මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටියේ වාණිජ අංශයෙනි.
දහසකුත් විශිෂ්ටයින් අතරින් රශ්මි සුවිශේෂී වන්නේ ඇය උපතින්ම ආබාධිත තත්ත්වයෙන් සිටිමින් උසස් පෙළ විභාගයට පෙනී සිටිමත්, එයින් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත්ව තිබීමත් නිසාවෙනි.
සිය දෑත් අහිමිව ඇති රශ්මිට එක් පාදයක ද ඇති ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඇවිදීම පවා දුෂ්කරව තිබේ.
පාදයේ ඇඟිලිවලින් අකුරු කරන රශ්මි මෙවර උසස් පෙළ විභාගයට වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිට A සාමාර්ථ තුනක් හිමිකර ගැනීමට සමත් වුණි.
සිය ජීවිතයේ අඩුපාඩුකම් නොසලකා හරිමින් කඩයිම් විභාගය විශිෂ්ට ලෙස සමත්ව ඇති රශ්මි, රත්නපුර දිස්ත්‍රික්කයේ 156 වන තැනට පත්ව සිටී.
දහසකුත් අභියෝග මැද විභාගයන්ට මුහුණදෙන සුවහසක් දැයේ දූදරුවන්ට රශ්මි සැබෑම වීරවරියක් වන්නේ ඒ නිසාවෙනි.
රෂ්මිගේ දෙමාපියන් ගුරුවරුන් වන අතර, ඔවුන්ගෙන් ලද නොමද සහයෝගය හා ආශීර්වාදයෙන් ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන් ද A සාමාර්ථ 8 ක් හා B සාමාර්ථයක් හිමිකර ගැනීමට සමත්වුණි.
තම ජයග්‍රහණය පිළිබඳ නිහතමානිව ආඩම්බර වන රශ්මි සිය සහෝදර සහෝදරියන්ට පවසන්නේ මෙවන් දෙයකි.
“2018 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නා. ඒ වේලාවේ දී ඒ 8යි, B එකක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුණා. දැන් ඒ තුනක ප්‍රතිඵලයක් අරන් සරසවි වරම් ලබාගන්න මට හැකිවුණා. ඒ ගැන බොහෝම නිහතමානි සතුටක්, ආඩම්බරයක් හිතේ තියෙනවා. බලාපොරොත්තු ගොඩක් හිතේ තියෙනවා. අභියෝග මැද්දේ කැපවීමෙන්, මහන්සියෙන් ඒ දේවල් හැබෑ කරගන්න බලාපොරොත්තු වෙනවා. කියන්න තියෙන්නේ අභියෝග, හිමිවීම්, අහිමිවීම් අපි හැමෝටම පොදුයි. අපි හැමෝටම විවිධාකාර අභියෝග මේ ජීවිතයේ දී අපිට මුණගැහෙනවා. මම හිතන්නේ ඇඟේ හයියට වඩා, හිතේ හයියයි වැදගත්. හැමදේම දරාගෙන ඉදිරියට යන්න හයිය හිතක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. අවශ්‍ය වෙන්නේ කැපවීම, උත්සාහය, අධිෂ්ඨානය විතරයි.”