ආයෝජනයට හිතකර ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමත්, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළ තත්ත්වයන්ට පාසල් වියේදීම හුරු කරවීමත්, අධ්‍යාපන කටයුතුවල දී ස්වාධීනත්වයේ අභිමානය තරුණ තරුණියන් තුළ ජනිත කරවීමත් අරමුණු කර ගනිමින් සතියට පැය 20ක උපරිමයකට යටත්ව වයස අවුරුදු 16 – 20 අතර තරුණ තරුණියන්ට අර්ධකාලීන රැකියාවන්හි නිරත වීමට ප්‍රතිපාදන ඇතුළත් වන පරිදි කම්කරු නීති සංශෝධනයට පියවර ගන්නා බවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
සියලු රැකියාවන්ට එක හා සමානව ගරු කරන ශ්‍රමයේ ගරුත්වය පිළිබඳ හැඟීමක් නිර්මාණය කිරීම, කිසිදු රැකියාවක් කිසිදු පදනමකින් වෙනස්කොට නොසැළකීමට හුරුකරවීම සහ පාසල් වියේදීම තරුණ තරුණියන් වැඩ පරිසරයට හුරුකරවීමත්, එසේ නොවීම කම්කරු ක්ෂේත්රයේ මතුව ඇති බොහෝ ගැටලුවලට හේතුව බවත්, කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.
ඒ අනුව මෙම වයසේ සිටින තරුණ තරුණියන් හට දිනකට පැය හතරක උපරිමයකට යටත්ව සතියේ දින පහක් හෝ සතියට පැය විස්සක උපරිමයකට යටත්ව සති අන්තයේත් රැකියාවන්හි නිතර වීමට අවකාශ සැලසීමට රජයේ අවධානය යොමු වී ඇත.
දැනට හදුනා ගෙන ඇති අනතුරුදායක රැකියා කාණ්ඩ 72 න්, පරිභාහිරව අවහන්හල්, සුපිරි වෙළෙදසැල්, පිරිසුදු කිරීම් ආශ්රිත අර්ධ කාලීන රැකියාවන්හි නිරත වීමට මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇත.
අදාළ සේවා යෝජකයන් මෙම තරුණ තරුණියන්ට විධිමත් පුහුණුවක් ලබාදීම අනිවාර්යය වන බවට අමාත්‍යංශය පවසයි.
කිසිදු අවස්ථාවක ස්ථිර රැකියා අවස්ථාවන් ලබා නොදීමටත්, නිසි පරිදි වැටුප් ගෙවීම්, ආරක්ෂාව සහ ගරුත්වය ලබා දීමත් සේවා යෝජකයාගේ වගකීම වනු ඇති බවට අමාත්‍යංශය පවසයි.
එසේම මෙයට අනුරූපව සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ (ඊ.ටී.එෆ්) ගෙවීම් සම්බන්ධ නෛතික තත්ත්වයන් ද සංශෝධනය කිරීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේය.
අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, “නීතිරීති සංශෝධනය කරන්න ඕනේ. ධානාත්මක හා සෘණාමක ප්‍රතිචාර තියෙන්න පුලුවන් මේකට. කොහොම වුනත් මේකෙන් අදහස් කරන්නේ පාසල් ළමයි සේවයට යොදවන්න කියන එක නෙමෙයි. පාසලෙන් අයින් වෙලා මේ මහපොලොවේ පය ගහනකොට, මෙකෙන් වැඩ ලෝකය මොකද්ද කියලා ඔවුන්ට අවබෝධ කර ගන්න පුලුවන්.”
“පැය 2ක් හෝ 3ක් හරි දවසකට වැඩ කිරීම වැදගත්. බොහෝ දරුවෝ යුරෝපයේ ගිහාම සතියකට පැය 20ක් වැඩ කරනවා. ඒ තත්ත්වය මේ රටේ ඉඩ හැරීම තුළින් අධ්‍යාපනය හමාර කරලා එගොල්ලෝ ශ්‍රම වෙළෙඳපොලට එනකොට කිසියම් අස්වැසිල්ලක් සමඟ එන්නේ. මේක හොඳ යෝජනාවක්. යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා යම් යම් නීතිමය ප්‍රතිපාදන අවශ්‍යයි. ඒ සඳහා මේ වනවිට කටයුතු කරගෙන යනවා” ඔහු කියා සිටියේය.
කිසිම අයිතිවාසිකමක් නැහැ
නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් මෙම යෝජනාව සම්බන්ධයෙන් දැක්වුයේ මෙවැනි ප්රතිචාරයකි.
“ඕනෑම රටක සම්පතක් තමයි ශ්‍රමය කියන එක. ප්රශ්නය තියෙන්නේ දැන් අපේ රටේ ඉන්න ශ්‍රමිකයින්ව පිටරට පටවනවා එක පැත්තකින්. එහෙම පිටරට පටවලා දැන් ඔය ඉස්කෝලේ යන ළමයින්ට කියනවා ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා පාට් ටයිම් ජොබ් කරන්න කියලා. පාට් ටයිම් ජොබ් කියන්නේ මොනවද? කොම්පැනි කාරයින්ට පැයකට, පැය දෙකකට, පැය තුනකට වැඩට සේවකයන්ව ගන්න පුලුවන්. ඉතින් ඒගොල්ලන්ට කිසිම අයිතිවාසිකමක් නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
“මේක ඇවිල්ලා එක පැත්තකින් අපේ රටට ඩොලර් හොයන්න කියලා අපේ රටේ තරුණ තරුණියන් පිටරට යවමින් හාම්පුතුන්ට අලුතින් ශ්‍රම බලකාය සපයා ගන්න අඩුමුදලට සකස් කරලා තියෙන ක්‍රමයක්. අනිත් එක එහෙම ඇමැතිවරයාට කරන්න බැහැ. කරනවා නම් ජාතික කම්කරු උපදේශක සභාවට ගේන්න ඕනේ. එහෙම කිසිම සාකච්ඡාවක් ජාතික කම්කරු උපදේශක සාභාවේ පවත්වලත් නැහැ.” ඔහු පෙන්වා දුන්නේය.
ඇන්ටන් මාර්කස් පෙන්වා දුන්නේ “අද අපේ අධ්‍යාපනය ලොකු කඩා වැටීමක් තියෙන්නේ. ඉතින් මේ කඩා වැටීමෙන් ගොඩ එන්න නම් අපේ අධ්‍යාපනය තව තවත් ශක්තිමත් කරන්න ඕනේ.”
සිසු ප්‍රතිචාරය
කොළඹ ප්‍රධාන ජාතික පාසලක උසස් පෙළ තාක්ෂණික විෂය හදාරණ සිසුවෙකු වන නෙරංග දිසානායක මෙම යෝජනාව සම්බන්ධයෙන් කියා සිටියේ “ඇත්තටම ඒක හොඳයි. පාට් ටයිම් වැඩ කරලා කියක් හරි හොයා ගන්න පුලුවන් නේ.”
ඔහු කියා සිටියේ එමඟින් අධ්‍යාපන වැඩවලට බාධාවක් නොවන බවයි.
“නැහැ ඉස්කොලේ යන්නේ නැති වෙලාවට හරි පන්ති නැති වෙලාවට වැඩ කරන්න පුලුවන්නේ. අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නැහැ.”
ආර්ථික විශේෂඥයින් පවසන්නේ මෙය ඉතාමත් ධනාත්මක පියවරක් බවයි.
“අනෙක් රටවලත් මේ වගේ ක්‍රම තියෙනවා. ඒක නිසා මේක ලංකාවෙත් ඇති කිරීම හොඳයි. ඒ ළමයින්ට කීයක් හරි හම්බකරලා ඒ අයගේම වියදම් දරාගන්න හරි තමන්ගේ පවුල්වලට උදව්කරන්න හරි පුළුවන් වෙනවා. ඒ වගේම ඒ ළමයින්ට පුහුණුවක් ලැබෙනවා මේ හරහා ඒ අයගේ අනාගතය සකසාගන්න පුළුවන් වෙයි.ඒ අය අනාගත ශ්‍රම වෙළඳපොළට එනකොට,” නේෂන් ලංකා ඉක්විටිස් හී ප්‍රධාන විධායක නිලධාරි ධනුෂ්ක සමරසිංහ බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
“මේ හරහා සංචාරක හා සිල්ලර වෙළඳ අංශයට තම සේවක ගැටලුවටත් යම්තාක් දුරකට විසඳුමක් ලැබෙයි.”
ඔහු තවදුරත් පැවසුවේ මේ හරහා සිඳුවිය හැකි ශ්‍රමය සුරාකෑම හා බැඳුනු අනෙකුත් අනීතික ක්‍රියාවන් වැළැක්වීමට රජය අවශය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
තොරතුරු තාක්ෂණ රැකියාවන්හි නියුතු කාන්තාවන් සදහා වන නෛතික බාධා ඉවතට
කාන්තාවන්ට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කිරීමට තිබූ නෛතික බාධා ඉවත් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ අනුව තොරතුරු තාක්ෂණය පදනම් කරගත් රැකියාවන්හි නියුතු කාන්තාවන් හට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කරමින් රාත්‍රී සේවයේ නියුතු වීමට අවකාශය සැලසෙන පරිදි 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම පිණිස කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මේ සමඟ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර, දැනුම් සහ ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, විදේශයන්හි පිහිටි ව්‍යාපාර ආයතනවල ගිණුම්, පරිපාලන සහ තාක්ෂණික කටයුතු සිදුකරන කාර්යාල ඇතුලු ආයතනයන්හි සේවයේ නියුතු සේවිකාවන් හට රාත්‍රී සේවයේ නියුක්ත වීමේදී මෙතෙක් පැවැති නෛතික සීමාවන් සංශෝධනය කර තිබේ.
එමඟින් වයස අවුරුදු දහ අට සම්පූර්ණ කර ඇති ඉහත සදහන් ක්ෂේත්රයන්හි රැකියාවන්හි නියුතු සේවිකාවන් උදෑසන 6.00ට පෙර හෝ සවස 6.00න් පසුවද සේවයේ නියුක්ත කළ හැකි වේ.
පැවැති නෛතික තත්ත්වය තුළ වයස අවුරුදු 18ට වැඩි කාන්තාවකට පස්වරු 8.00 දක්වා සේවය කිරීමට අවසර තිබූ අතර, ගුවන්තොටුපළ, හෝටල්, භෝජනාගාර, සමාජ ශාලා වැනි සීමිත පරාසයක පමණක් රාත්‍රී සේවයේ යෙදීමට සීමිත අවකාශයක් තිබුණි.
මෙමඟින් කාන්තා සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීමට කම්කරු නීතියේ පැවැති නෛතික බාධා ඉවත් කෙරෙන අතර, එමඟින් මෙරට ශ්‍රම බලකායේ කාන්තා සභභාගීත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
ලාංකිකයින් 140,000 ක් විදෙස් රැකියා වෙත
මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් එක් ලක්ෂ හතලිස් දහසකට අධික පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යංශය ලේකම් ආර්.පී.ඒ. විමලවීර පැවසුවේ, මේ වසර් ශ්‍රී ලාංකිකයින් ලක්ෂ තුනක් විදේශ රැකියා සඳහා යොමුකිරීම රජයේ අරමුණ වී ඇති බවයි.
දකුණු කොරියාව ,ජපානය, ඊශ්‍රායලය හා මැදපෙරදිග රටවලට වැඩි පිරිසක් පිටත්ව ගොස් ඇත.
තවත් ලාංකිකයින් රැසක් විදෙස් රැකියා සඳහා පිටත්ව යෑමට සූදානමින් සිටින බවද අමාත්‍යංශය සඳහන් කළේය.
රටේ පවතින ආර්ථික අර්බූදය හමුවේ විශාල පිරිසක් මේ වනවිට විදේශ රැකියාවන් සඳහා යොමු වීමේ ප්‍රවණතාවයක් ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
උපුටා ගැනීම – BBC ඇසුරෙනි.