මේ කතාව දිග ඇරෙන්නේ අද වනවිට ලෝකයේ වඩාත් ජනප්‍රිය ඩේටින් ඇප් එකක් වන “ටින්ඩර්” සමාජ මාධ්‍ය යෙදුම හා සම්බන්ධව මේ වන විට සිදුවන වංචචනික කටයුත්තක් සම්බන්ධවයි.
පුරුෂයෙකු ඩේටින් ඇප් එකක් හරහා කාන්තාවක සම්බන්ධකර ගෙන, ඇය හා පණිවිඩ හුවමාරුකර, මඳ කලක් ගෙවීයෑමෙන් පසු, පුද්ගලිකව හමුවීමට කටයුතු යොදාගනියි. ඔහු කලින් එකඟවූ ස්ථානයට පැමිණි අවස්ථාවේ සන්නද්ධ පුද්ගලයින් පිරිසක් විසින් පැහැරගැනීමට ලක්වෙයි. ඔහු බලාපොරොත්තුවෙන් සිටි සුවිශේෂී මොහොත එක් ක්ෂණයකින් බියකරු සිහිනයක් බවට පත්වෙයි.
බ්‍රසීලයේ දැවැන්තම සහ ධනවත්ම නගරය වන සාඕ පවුලෝහි මෙවැනි අපරාධ සුලබවෙමින් පවතියි. මෙවැනි අපරාධ වලින් “90%කට වැඩි” ප්‍රමාණයක් සිදුව ඇත්තේ ටින්ඩර් වැනි ඩේටින් ඇප්වල සැදූ ව්‍යාජ ගිණුම් ඇමක් ලෙස භාවිතාකර පුද්ගලයින් ආකර්ෂණයකර ගැනීම මඟින් බව එරට මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම් පවසා ඇත.
ඒ වගේම වින්දිතයාගේ බැංකු ගිණුම්වල ඇති මුදල් කොල්ලකන අතරේ වින්දිතයා මනෝවිද්‍යාත්මක හා ඇතැම්විට ශාරීරික වධයන්ට භාජනය කෙරෙයි.
2022 වර්ෂය තුළ පමණක්, සාඕ පවුලෝ සිවිල් පොලීසියේ පැහැරගැනීම් විරෝධී නිලධාරීන් මීට සම සිදුවීම් 94ක් සම්බන්ධයෙන් කටයුතුකර ඇති අතර, සැකකරුවන් 250කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
වින්දිතයින් තෝරාගැනෙන ආකාරය
අපරාධකරුවන්ගේ මූලික ඉලක්කයවී ඇත්තේ වයස අවු. 40ට වැඩි අවිවාහක පුරුෂයින් ය.
එරට මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අපරාධකරුවන් මේ සඳහා සිය වින්දිතයින්ගේ ඔන්ලයින් ‘පිය සටහන්’ අධ්‍යයනය කරනබවය.
තවද “ඔවුන් සමාජ ජාලවල දී තම ආර්ථික හැකියාව පිළිබඳව පුරසාරම් දොඩන පරිශීලකයින් නිරීක්ෂණයකර, ‘ඇම’ ලෙස යොදාගන්නා තැනැත්තියගේ නිවසේ හමුවක් සංවිධානය කරයි”.
මෙවැනි කල්ලි ක්‍රියාත්මකවන ආකාරය සහ පෙම් හමුවක් උගුලක්දැ යි හඳුනාගැනීමට උපකාර වන ප්‍රධාන සලකුණු මොනවා ද යන්න අවබෝධකර ගැනීම සඳහා බීබීසීය පොලිස් නිලධාරීන් (බහුතරය නිර්නාමිකය) සහ ඩිජිටල් ආරක්ෂක විශේෂඥයින් සමග ඇති වූ කතාබහක් පහතින් එක් කර ඇත.
සාඕ පවුලෝහි උතුරුදිග ප්‍රදේශයේ සේවයේ යෙදෙන හමුදා පොලිස් ලුතිනන්වරයෙකු අප වෙත විස්තර කළ පරිදි, සාමාන්‍යයෙන් වින්දිතයන්බවට පත්වන්නේ මූල්‍යමය වශයෙන් සාර්ථක, වැඩිමහලු පුරුෂයින් ය.
“ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අවු. 40ට වැඩි, අවිවාහක, වත්කම් ටිකක් තියෙන මිනිස්සු. ගොඩක් අපරාධකාරයෝ රාගික මැසේජස් යවලා, හැකි ඉක්මණින් හමුවීමක් ඉල්ලලා වින්දිතයින්ව ටින්ඩර් හරහා ආකර්ෂණය කරලා ගන්නවා,” පොලිස් නිලධරයා පැවසුවේ ය.
අපරාධකරුවන් වින්දිතයින්ගේ රැකියාව වැනි පුද්ගල කරුණු දැනගන්නේ වින්දිතයා විසින්ම ඩේටින් ඇප් එකට ඇතුළත් කර ඇති තොරතුරු මඟිනි. නමුත් ඔවුන් ජාත්‍යන්තර සංචාරයන්හි හෝ සුඛෝපභෝගී මෝටර් රථවල පින්තූර පෝස්ට් කරන පරිශීලකයින් විශේෂයෙන් ඉලක්ක කරයි.
“සාමාන්‍යයෙන් හමුවක් සැලසුම් කෙරෙන්නේ ටිකක් හුදෙකලා ප්‍රදේශයක, අපරභාගයේ අවසාන කොටසත්, හැන්දෑවේ ආරම්භයත් අතර වෙලාවකට වැටෙන විදියට,” ලුතිනන්වරයා පැහැදිලි කළේ ය.
“මම සම්බන්ධ වුණු එක් සිද්ධියක දී පිරිමියා උත්සාහ කරලා තිබුණා සාප්පු සංකීර්ණයක දී කාන්තාව මුණගැහෙන්න. නමුත් එතකොට ඈ කියලා තිබුණා ඈට සනීප නැහැ, ඒ නිසා ඔහු හමුවෙන්න එන්න නිවසින් පිටවෙන්න නොහැකිවීම ගැන පසුතැවිලි වෙනවා කියලා. මේ මනුස්සයා කාන්තාව බලන්න ඇගේ ගෙදරට ගිහින්, එතන දී පැහැරගැනීමට ලක්වෙලා තිබුණා.”
මේ සෑම කල්ලියක්ම ක්‍රියා කරන්නේ වින්දිතයාගේ අපේක්ෂාවන්ට අනුකූලව ය – වින්දිතයන් සාමාන්‍යයෙන් දිගුකාලීන සබඳතාවක් අපේක්ෂා නොකරන, වඩාත් සැහැල්ලු හමුවක් සොයනා පුරුෂයින් ය.
“සාමාන්‍යයෙන් පළමු හමුව සිදුවෙන්නේ ඇප් එක හරහා හමුවෙලා දවසක් දෙකක් ගෙවුනට පස්සේ. එතකොට පිරිමියා හිතනවා කාන්තාවත් ‘වැඩේට කැමතියි’ කියලා,” පොලිස් නිලධරයා සඳහන් කළේ ය.
පැමිණිල්ලක් ගොනුකිරීම සඳහා පොලිසියට යෑමට වින්දිතයන් ලැජ්ජාවීම, වින්දිතයින්ගෙන් ඇතැමෙක් දිගුකාලීන පෙම් සබඳතා පවත්වාගෙන යන පුද්ගලයින් වීම,
තම අනියම් හමුව සහකාරියට හෙළිවීම වැළකීම යන හේතු නිසාවෙන් අඩුවෙන් වාර්තා වන අපරාධයන්ද ඇති බවද අවදානයට ගත යුතුය.
වංචනික බව සොයාගන්නා අකාරය
අන්තර්ජාල අපරාධ මැඬලීමට කටයුතු කරන බ්‍රසීල රාජ්‍ය නොවන සංවිධානයක් වන SaferNetහි ඩිජිටල් ආරක්ෂණ විශේෂඥයෙකු වන ගිල්හෙර්මි ඇල්විස් පවසන්නේ, ප්ලැට්ෆෝමයෙන් පිටත දී සිදුකෙරෙන වංචාවන් සඳහා අපරාධකරුවන් විසින් ඩේටින් ඇප් බහුලව භාවිතා වනබව යි.
ඇතැම් පොදු ලක්ෂණ පිළිබඳව විශේෂඥයා අනතුරු ඇඟවුයේ මෙසේය.
“පළමු හමුවෙන් පස්සේ ප්‍රොෆයිල් එක ඩිලීට් කරලා දානවා කියන්නේ, අදාළ තැනැත්තාට තොරතුරු හංගන්න අවශ්‍ය යි කියන එකට සංඥාවක්. තවත් සංඥාවක් තමයි, සමහරුන්ට ඉක්මණටම හමුවක් සූදානම් කරන්න අවශ්‍ය වෙනවා, ප්ලැට්ෆෝම් එක අතෑරලා වට්සැප් ගිහින් චැට් කරන්න ඕනේ වෙනවා. පුද්ගලික ස්ථානවල සංවිධානය කෙරෙන හමු එහෙමත් මඟහරින්න ඕන,” සයිබර් ආරක්ෂණ විශේෂඥයා පවසයි.
පරිශීලකයින් තම සියලු සංවාදයන්හි වාර්තා නොමකා තබාගත යුතුබවත්, සාප්පු සංකීර්ණ වැනි බොහෝ පුද්ගලයින් සිටින පොදු අවකාශයන්හි පමණක් හමුවිය යුතුබවත් ඔහු නිර්දේශ කරයි. ඇල්විස් පෙන්වා දුන් තවත් කරුණක් වූයේ, වංචාකරුවන් ප්‍රථම හමුවේ දී වෙනුවට, හමුවීම් කිහිපයකට පසු වුව ද අපරාධය සිදුකිරීමට ඉඩකඩ ඇතිබව යි.
“මම සම්බන්ධ වුණු එක සිද්ධියක දී, වින්දිත කාන්තාවක් අපරාධකාරයා එක්ක දෙවරක් හමුවෙලා තිබුණා. නමුත් අපරාධකරුවා ඇයව කොල්ලකාලා අතුරුදහන් වෙලා ගිහින් තිබ්බේ තුන්වෙනි හමුවෙ දී යි,”
“ඒක ‘කැට්ෆිෂින්’ වංචාවක් නම් (මේ සඳහා අසත්‍ය පුද්ගල අනන්‍යතාවක් අන්තර්ජාලය තුළ නිර්මාණය කෙරෙයි), ප්‍රොෆයිල් එක අනිවාර්යයෙන් ෆේක්. ඒ වගේම වින්දිතයා වෙනත් ප්ලැට්ෆෝමයක් වෙත, උදාහරණයක් විදියට වට්සැප් වගේ, ගෙනියන්න අපරාධකාරයා උත්සාහ කරන්න පුළුවන්. සමහර විට වංචාකාරයා කියන්න පුළුවන් එයා තමන්ගේ ප්‍රොෆයිල් එක අර පළමු ප්ලැට්ෆෝම් එකෙන් ඩිලීට් කළා, එහෙම කළේ එයාට සීරියස් සම්බන්ධයක් ඕනේ නිසා කියලා.”
ප්රවීණයන්ගේ නිර්දේශය වන්නේ ජනයා බහුලව ගැවසෙන සාප්පු සංකීර්ණ වැනි පොදු ස්ථානවල හමුවීම් පැවැත්විය යුතුබව යි.
මුලාශ්‍ර – බීබීසී