ලොව විශාලත ම රටවල් අතුරින් එකක් වන රුසියාවෙහි, විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා දිස්ත්‍රික්කය සයිබීරියාවයි. අධික ශීත දේශගුණයකින් යුත් ප්‍රදේශ රැසක් පිහිටා තිබෙන එම දිස්ත්‍රික්කයට සාකා පළාත ද අයත්.මෙම ප්‍රදේශයේ ඇති විශේෂත්වය නම් මෙම පළාත ආශ්රිත ව වනාන්තර ප්‍රදේශ රැසක් පිහිටා තිබීමයි. අනෙක් කාරණය නම් මේ වනාන්තර ප්‍රදේශ වලසුන්, වෘකයන් වැනි භයානක සතුන් ගෙන් ද ගහණ වීම. එමනිසා මෙවැනි ප්‍රදේශයක අතරමං වුණු කෙනකුට සිය ජීවිතය බේරා ගැනීම ලෙහෙසි පහසු වන්නේ නැහැ. මෙවැනි තත්ව යටතේ සාකා පළාතේ වනාන්තර ප්‍රදේශයක දින 11ක් අතරමං ව සිටි තුන් හැවිරිදි දැරියක් වූ කරීනා සිය ජීවිතය කිසිදු උපද්‍රවයකින් තොර ව බේරාගන්නට සමත් වූ බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!.
කවුද මේ කරීනා?
තුන් හැවිරිදි වියේ පසු වූ ඇය නමින් කරීනා චිකිටෝවා.කරීනා ජීවත් වුණේ සාකා පළාතේ ඔලොම් ගම ආශ්‍රිතව යි. රොඩියොන් සහ තලීනා ඇයගේ මාපිය යුවළ යි. ඊට අමතර ව කරීනාගේ මිත්තණිය ද ජීවත් වුණේ ඔවුන් සමඟ යි. එනිසා ඇය රැකබලා ගැනීමේ කාර්යය පැවරී තිබුණේ මිත්තණියට යි. කරීනා දැරිය බොහෝ විට දහවල් කාලය ගත කළේ සිය මිත්තණිය සමඟ යි.
කරීනාගේ පියා වුණු රොඩියොන් දඩයම් කිරීම, මසුන් මැරීම, සත්ව හම් වෙළෙඳාම, දැව වෙළෙඳාම වැනි රැකියාවල නිරත වෙමින් සිය පවුල නඩත්තු කළා. එනිසා ඔහුට තම රැකියාවේ යෙදෙන්නට ගම අසල තිබුණු වනාන්තර ප්‍රදේශයට නිතර ම යාමට සිදු වුණා.
ඔලොම් ගම සහ ගිම්හාන කාලය
උතුරු අර්ධ ගෝලයට ආසන්න ව පිහිටි ඔලොම් ගම වසරේ වැඩි කාලයක් හිමෙන් වැසී පවතිනවා. එම ප්‍රදේශයට ගිම්හාන කාලය උදා වන්නේ ජූනි සිට අගෝස්තු දක්වා මාස තුන ඇතුළත යි. ඔලොම් ගමේ ජීවත් වන උදවිය ගෙවන්නේ දුෂ්කර ජීවිතයක්.
වසර 8කට පෙර එනම් 2014 වර්ෂයේ ගිම්හාන කාලය එළඹීමත් සමඟ ම කරීනාගේ පියා කාර්යබහුල වුණා. ඒ මසුන් ඇල්ලීම, දඩයමේ යාම, ගස් කැපීම ඇතුළු වැඩ රාජකාරි රැසක නිරත වීමට සිදු වුණු නිසා යි. එනිසා කුඩා කරීනා සමඟ කාලය ගත කිරීමට පවා ඔහුට වෙලාවක් තිබුණේ නැහැ. ඔලොම් වැනි අධික ශීත ප්‍රදේශවල ජීවත් වන ජනතාව ගිම්හාන කාලයේ දී හැකි තරම් ආහාර රැස් කර ගත යුතු යි. එසේ නොවුණොත් ඔවුන්ට ශීත කාලයේ දී කුසගින්නේ සිටීමට සිදු වෙනවා.
සිය පියා සහ මව ගිම්හාන කාලයේ දී කාර්යබහුල වීම නිසා කුඩා කරීනා සිටියේ එතරම් සතුටකින් නොවෙ යි. කරීනා සමඟ කාලය ගත කිරීමට මිත්තණිය නිවසේ සිටියත්, කරීනා ට වෙනදා මෙන් පියා සමඟනම් සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ.ඇයගේ පියා වුණු රොඩියොන් නැති අඩුව කුඩා දැරියට තදින් ම දැනුණ අවස්තාවන් වලදී ඇය තරමක් හිතුවක්කාර දැරියක් ලෙසින් ද හැසිරුණා.
පුංචි කරීනාගෙ හිතුවක්කාර ගමන
එදා 2014 ජූලි 29 වැනිදා. උදෑසන සිට රොඩියොන් සුපුරුදු රාජකාරිවල නිරත වුණා. එදින ද ඔහුට සිය දියණිය සමඟ කාලය ගත කිරීමට වෙලාවක් තිබුණේ නැහැ. එනිසා කරීනා උදෑසන සිට කාලය ගත කළේ තරමක් කේන්තියෙන්. එදින ඇයගේ මව ද පියාගේ වැඩවලට හවුල් වීම නිසා කරීනාගේ කේන්තිය දෙගුණ තෙගුණ වී තිබුණා. එදා දහවල් ආහාරය ගැනීමෙන් පසුව කරීනාගේ පියා වනාන්තරයට යාමට තීරණය කළා. ඒ සතුන් දඩයම් කිරීම සඳහා යි. පියා එම ගමන යාම සඳහා සූදානම් වන ආකාරය දෙස බලා ගෙන සිටි කරීනාට අපූරු ආසාවක් පහළ වුණා. ඒ පියා සමඟින් වනයට යාමට යි.
එම ගමන සඳහා ගෙදරින් අවසර නොලැබෙන බව දැන ගෙන සිටි නිසා පියා පසුපස හොර රහසේ ම යාමට කරීනා තීරණය කළා. ඒ අනුව කුඩා කරීනා සිය පියා ගෙදරින් පිටත් වුණු විගස ම ඔහුට නොදැනෙන්නට පසුපසින් ගියා. එලෙස කරීනා වනය දෙසට යන ආකාරය ඇයගේ මිත්තණිය දැක තිබුණා. ඒ මොහොතේ ඇය සිතා තිබුණේ රොඩියොන් දැනුම්වත් ව කරීනා වනාන්තරයට යන බව යි. එනිසා මිත්තණිය ඒ බව දැරියගේ මවට දන්වා තිබුණේත් නැහැ. කුඩා දැරිය වනය දෙසට යද්දී නිවසේ සිටි නයිඩා නම් සුනඛ්‍යා ද ඇය පසුපසින් ගියා.
නයිඩා සමඟ වනයේ අතරමං වූ කරීනා
ප්‍රමාණවත් තරම් සතුන් දඩයම් කර ගෙන රාත්‍රිය උදාවීමට පෙර සිය නිවස වෙත පැමිණීමේ අරමුණ ඇති ව රොඩියොන් වනාන්තරය තුළ වේගයෙන් ඇවිද ගියේ සිය දියණිය තමන් පසුපස එන බව නොදැනය. රොඩියොන් වේගයෙන් වනාන්තරය තුළ ඇවිද ගිය නිසා කුඩා කරීනාට ඔහු මඟහැරී ගියා. එයින් බියට පත් වුණු කරීනා සිය පියා සොයමින් වනය පුරා සැරිසැරුවා. ඇයගේ සහායට නයිඩා ද ළඟින් ම සිටියා.
එසේ හෝරා කිහිපයක් ගතවෙද්දී කරීනා වනාන්තරය තුළට තව තවත් ගියා. ඇයට හෝ සුනඛයාට ඔවුන් ගමන් කළ දිසාව පිළිබඳ ව අවබෝධයක් තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් කරීනා සහ නයිඩා මහා වනාන්තරයේ අතරමං වුණා.
කරීනාගේ ගෙදර මහා කලබලයක්
රොඩියොන් සතුන් දඩයමේ ගොස් යළි නිවසට පැමිණියේ සවස් කාලයේ දී යි. ඔහු සමඟ කරීනා නොපැමිණීම හේතුවෙන් ඇගේ මව සහ මිත්තණිය කලබලයට පත් වුණා. ඒ මොහොතේ කරීනාගේ මිත්තණිය කුඩා දැරිය වනයට ගිය ආකාරය පිළිබඳ ව රොඩියොන් හමුවේ පවසා සිටියා. එය ඇසීමෙන් රොඩියොන් ද කලබලයට පත් වුණා. ඉන් පසුව ඔහු අසල්වැසි නිවෙස්වලට ගොස් දැරිය සෙවීමට යාම සඳහා උදව් ඉල්ලා සිටියා.
ඒ වන විට රෑ බෝ වීමට ආසන්න ව තිබුණු නිසා වනාන්තරයට යාම සුදුසු නැති බව අසල්වැසියන්ගේ අදහස වුණා. එනිසා කුඩා දැරිය සෙවීමේ මෙහෙයුම පසුදා උදේ ඇරඹීමට ඔවුන් තීරණය කළා. ඒ අතරතුර වනයේ අතරමං වුණු කරීනා දැරියා නයිඩා සමඟ විශාල තණ පඳුරු අතර සැඟ වී රාත්‍රිය ගත කළා. එම රාත්‍රිය පුරා වෘකයන්ගේ උඩු බිරුම් හඬ ඇසුණු නිසා දැරිය දැඩි ලෙස බියට පත් ව සිටියා.
දැරිය සෙවීමේ මෙහෙයුම අසාර්ථකයි!
පසු දින උදෑසන කරීනාගේ පියා ඇතුළු පිරිසක් දැරිය සොයන්නට වනාන්තරයට ගියා.හෝරා කිහිපයක් මහා වනාන්තරයේ සැරිසැරුවත් දැරිය පිළිබඳ කිසිදු හෝඩුවාවක් ඔවුන්ට හමු වුණේ නැහැ. එනිසා එහි සිටි අය අනුමාන කළේ දැරිය සහ සුනඛයා කැලෑ සතුන්ට හසුවන්නට ඇති බව යි. එය පිළිගැනීමට අකමැති වුණු නිසා රොඩියොන් දැරිය සෙවීමට තව තවත් උනන්දු වුණා. අසල්වැසියන් ද ඒ සඳහා ඔහුට සහාය ලබා දුන්නා. ඔවුන් එම දිනය පුරා ම වනාන්තරයේ සැරිසැරුව ද දැරිය හමු වුණේ නැහැ.
එනිසා ඔවුන්ට හිස් අතින් ම ගෙදරට ආපසු ඒමට සිදු වුණා. එසේ නිවසට පැමිණි රොඩියොන් සිය දියණියගේ අතුරුදහන් වීම පිළිබඳ ප්‍රදේශයේ ආරක්ෂක අංශ වෙත දැනුම් දීමට තීරණය කළා. ඔවුන් ජීවත් වුණු ඔලොම් ගම පිහිටා තිබුණේ නගරයෙන් බොහෝ ඈතට වන්න යි. එම ප්‍රදේශයේ සන්නිවේදන පහසුකම් අවම මට්ටමක තිබුණා. එනිසා දැරියගේ අතුරුදහන් වීම ආරක්ෂක අංශ වෙත දැනුම් දීමටත් සැලකිය යුතු තරම් පැය ගණනක් ගත වුණා.
කරීනා සහ නයිඩා ජීවිතයත් මරණයත් අතර සටනක
වනයේ අතරමං ව සිටි කරීනා සහ නයිඩා කැළෑ බෙරි වර්ග ආහාරයට ගනිමින් ගංගාවල ජලය පානය කරමින් කුස පුරවා ගත්තා. කරීනා සහ නයිඩා වඩාත් අපහසුතාවට පත් වුණේ රාත්‍රී කාලයේ දී යි. ඒ වෘකයන් සහ වලසුන් වැනි දරුණු සතුන්ගෙන් බේරීම සඳහා උසට වැඩුණු තණ පඳුරු අතර සැඟවී සිටීමට සිදු වුණු නිසා යි. එසේ සැඟවී සිටිය දී කුඩා දැරිය සහ සුනඛයා විවිධ කෘමීන්ගේ ප්රහාරවලටත් ලක් වුණා.
රාත්‍රී කාලයේ දැනුණු අධික ශීතල අඩු කර ගැනීම සඳහා දැරිය සිය සුනඛයා තුරුළු කර ගෙන නිදා ගත්තා. එසේ දින කිහිපයක් ගත වෙද්දී මෙම දැරිය අතුරුදහන් වුණු සිද්ධිය ප්‍රසිද්ධියට පත් වුණා. ඒ පිළිබඳ පුවත් මාධ්‍ය හරහාත් ප්‍රචාරය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආරක්ෂක අංශ දැරිය සෙවීමේ කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළා.
ආරක්ෂක අංශ දරුවා සොයයි
කරීනා දැරිය සෙවීම සඳහා මෙහෙයුම් ආරම්භ කළ ආරක්ෂක අංශ වනාන්තරයට ඉහළ අහසේ හෙලිකොප්ටර් පියාසර කරවීමෙන් බලාපොරොත්තු වුණේ දැරිය පිළිබඳ ව යම් හෝඩුවාවක් සොයා ගැනීමට යි. කුඩා දැරිය සහ නයිඩා හොඳින් වැඩුණු තණ පඳුරු අස්සේ සැඟ වී සිටි නිසා හෙලිකොප්ටර්වල නියමුවන්ට ඔවුන් දැක ගැනීමට හැකි වුණේ නැහැ. එසේ දැරිය සෙවූ ආරක්ෂක භට පිරිස් ඉන් අනතුරුව වනාන්තරයට ඇතුළු වී මෙහෙයුම් ආරම්භ කළා. එම මෙහෙයුම්වලින් ද සාර්ථක ප්‍රතිඵල අත් වුණේ නැහැ. එනිසා ඔවුන් අනුමාන කළේ දැරිය වනාන්තරය තුළ දී මිය යන්නට ඇති බව යි.
කරීනා පිළිබඳ බලාපොරොත්තු අත් හැර දමයි
දැරිය අතුරුදහන් වී දින 6ක් පමණ ගතවෙද්දී වෛද්‍යවරුන් පවසා සිටියේ ඇයට මෙතරම් කාලයක් ආහාර නොමැති ව ජීවත් වීමට අසීරු බව යි. මේ ප්‍රකාශයත් සමඟ ඇයගේ මාපියන්ට සිය දියණිය පිළිබඳ ව තබා තිබුණු සියලු බලාපොරොත්තු අත් හැර දැමීමට සිදු වුණා. එහි දී වැඩි දෙනෙක් චෝදනා කළේ කරීනාගේ මාපියන්ගේ නොසැලකිල්ල නිසා මෙවැනි විපතක් වුණු බව යි. එවැනි චෝදනා හමුවේ රොඩියොන් සහ තලීනා තව තවත් දුකට පත් වුණා. සිය දියණියගේ වෙන් ව යාම නිසා ඔවුන් දෙපළ කනස්සල්ලෙන් කාලය ගත කළා.
වීරයෙක් වුණු නයිඩා
කරීනා වනයේ අතරමං වී මේ වන විට දින 9ක්, එනම් 2014 අගෝස්තු 7 වැනිදා වන විට විට දැරියගේ සෞඛ්‍යය තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගෙන තිබුණා. එය අවබෝධ කර ගත් නයිඩා සුනඛයා කෙසේ හෝ ඔලොම් ගම වෙත ආපසු යාමට තීරණය කළා. එහි දී අභියෝගාත්මක ගමනකින් පසුව ගමට ළඟාවීමට නයිඩාට හැකි වුණා.
දැරිය පිළිබඳ සියලු බලාපොරොත්තු අත් හැර තිබුණු මොහොතක නයිඩාගේ ආපසු පැමිණීම හමුවේ රොඩියොන් සහ තලීනා නව පණක් ලැබුවා. ඉන් පසුව ඔවුන් දෙපළ හැකි ඉක්මනින් ඒ පිළිබඳ ආරක්ෂක අංශ වෙත දැනුම් දුන්නා.
ඒ සමඟ වහා ක්‍රියාත්මක වුණු ආරක්ෂක භට පිරිස් නයිඩා සමඟින් දැරිය සිටි ස්ථානය වෙත ගියා. ඒ වන විටත් ඇය විශාල තණ පඳුරු අස්සේ සැඟ වී සිටියා. දින 11ක් නිසි පරිදි ආහාර නොගැනීම නිසා දැරියගේ ශරීර සෞඛ්‍යය පිරිහී තිබුණා. ඇය ආරක්ෂිත ස්ථානයකට ඉක්මනින් ම රැගෙන ගොස් ඔවුන් ඇයට කඩිනම් ප්‍රතිකාර ලබා දුන්නා.
අඛණ්ඩ ප්‍රතිකාර ගැනීමෙන් පසුව දැරිය සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. දැරියගේ ජීවිතය බේරුණේ නයිඩා සුනඛයාගේ නිර්භීත බව නිසා යි. එනිසා නයිඩාගේ වීරත්වය පිළිබඳ ව එම ප්‍රදේශයේ ජනතාව කතා කරන්නට පටන් ගත්තා. කුඩා කරීනා දින 11ක් නොබිය ව වනයේ සිටි නිසා ඇය ද වීර දැරියක් ලෙසින් ප්‍රසිද්ධ වුණා.
වීරත්වය වෙනුවෙන් කරීනාට සහ නයිඩාට උපහාරය
සුප්‍රසිද්ධ ජංගල් බුක් කතා මාලාවේ එන මෞග්ලි ජීවත් වන්නේ වනාන්තරයේ යි. කරීනා දැරිය ද දින 11ක් වනාන්තරයේ ජීවත් වුණු නිසා ඇයට ද ‘මෞග්ලි’ යන සුරතල් නාමය පට බැඳුණා. කරීනාට සහ නයිඩාට උපහාර දැක්වීමට සාකා පළාතේ පාලකයන් තීරණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස එම පළාතේ අගනුවර වන “යකුට්ස්ක්” නගරයේ කරීනා සහ නයිඩා එකට සිටින ආකාරය දැක්වෙන පිළිරුවක් නිර්මාණය කිරීමටත් ඔවුන් කටයුතු කළා.
මූලාශ්‍ර
– siberiantimes.com
– රෝ මීඩියා