ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කරමින් ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු දැක්වූ දක්ෂතාවක් පිළිබදව ලෝකයේම අවධානය යොමු වී ඇත. මෙලෙස දස්කම් දක්වන්නේ වසර 168ක ඉතිහාසයක් තුළ මෙල්බර්න් විශ්වවිද්‍යාලයයෙන් එකවර ආචාර්ය උපාධි හිමිකර ගත් වන නදීෂා ගුණරත්න සහ තේජානි ගුණරත්න යන නිවුන් සොහොයුරියන්. කොළඹ මියුසියස් විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ ඔවුහු සිය පාසල් අවධියේ මතක අවදිකරන්නේ මෙලෙසිනි.
ආචාර්ය නදීෂා ගුණරත්න සිය පාසල් සමය ගැන පළකළේ මෙවන් අදහසකි.
“ඉස්කෝලේ යන කාලේ අධ්‍යාපන කටයුතු වගේම බාහිර ක්‍රියාකාරකම්වලටත් ලොකු නැඹුරුවක් අපට තිබුණා. බැඩ්මින්ටන් කළා. කැන්ඩියන් ඩාන්සිං, ගීතිකා කණ්ඩායම, බාලදක්ෂ, අපි ගියේ කොළඹ මියුසියස් විද්‍යාලයට. ගර්ල් ගයිඩිංවලින් අපි දෙන්නා ලංකාව නියෝජනය කරන්න තේරුණා. මැලේසියාවේ තිබුණ උත්සවයකට. ඒ වගේ බාහිර ක්‍රියාකාරකම් ගොඩක් මැද්දේ තමයි අපි ඉගෙනීමේ කටයුතුත් කළේ.”
ආචාර්ය තේජානි ගුණරත්න තුළ ද සිය පාසල ගැන ඇත්තේ, ගෞරවයකි.
“ප්‍රාථමික අධ්‍යාපනයේ ඉදලා උසස් පෙළ වෙනකම් අපි ඉගෙන ගත්තේ මියුසියස් විද්‍යාලයේ. ඇත්ත ම කියනවා නම් ගොඩක් ආදරෙයි අපි ඉස්කෝලෙට. ඉස්කෝලෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපි අදත් ස්තුතිවන්ත වෙනවා, කොළඹ මියුසියස් විද්‍යාලයට ගිහින් ලබාගත්ත අධ්‍යාපනයේ පදනමට.”
මොවුන් දෙදෙනාගේ මව වන මානෙල් ගුණරත්න, වසර 40ක පමණ පළපුරුද්දක් සහිත ගණිතය ගුරුවරියකි. පියා වන රියෙන්සි ගුණරත්න, මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයයේ ඉංග්‍රීසි විෂය පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු සේවය කළේ ය. ඔහු මීට වසර 11කට පමණ පෙර දිවියෙන් සමුගෙන ඇත.
“අද තාත්ති හිටියා නම් ගොඩක් සතුටු වෙනවා. තාත්ති නැති වෙන්න කලින් අපට කිව්වා තාත්තිට විශ්වාසයක් තියෙනවා කියලා අපි දෙන්නා උසස් අධ්‍යාපනය ලබලා ජයග්‍රහණ ගොඩක් ලබාගනියි කියලා. අම්මියි තාත්තියි නිසා තමයි අද අපි මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. අපි මේ පීඑච්ඩී එක ඩෙඩිකේට් කරනවා අම්මිටයි තාත්තිටයි.” සිය පියා පිළිබඳව නදීෂාට ඇත්තේ එවන් මතකයකි.
ඔවුන් නිවුන් සොයුරියන් වීම නිසා පාසල් සමයේ මුහුණ දී ඇති අත්දැකීම් රාශියකි.
“අපි ගොඩක් එක වගේ නිසා අපේ ඉස්කෝලෙ ටීචර්ස්ලාට, යාළුවන්ට අපිව අදුනගන්න අපහසු වුණ අවස්ථා තිබුණා. එක වසරේ මට මතකයි අපි ඉන්ටර්වල් එකෙන් පස්සේ අපේ ටීචර් අපිව අරන් ගිහිල්ලා තිබුණේ වැරදි පන්තියකට මාරු කරලා. අපි ඉතින් ඒක කිව්වෙ නෑ ටීචර්ට කියන්න බයක් වගේ තිබුණා. අපේ අක්කි ඇවිල්ලා තමයි ඒ පන්ති මාරුව ආයෙත් හැදුවේ.
තේජානි සහ නදීෂා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයට ඇතුළු වී ආහාර විද්‍යාව සහ තාක්ෂණවේදය පිළිබද උපාධිය හැදෑරූහ. එහිදී එම විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමු වරට උපාධි ලකුණු සාමාන්‍යය හතරෙන් හතරක් ලෙස උපරිම ලකුණු සාමාන්‍යය ලබා ගැනීමට නදීෂා ගුණරත්න සමත් විය. ඔවුන් එම උපාධිය නිම කළේ පළමු පන්ති ගෞරව උපාධි ලබා ගනිමිනි.
මේ නිවුන් සොයුරියන්ගේ ජීවිත ගමන වෙනස් කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් උසස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමට යාමත් සමගය. ආචාර්ය උපාධිය සදහා දෙදෙනාම චොකලට් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ චිත්තාවේග හා සංවේදී ඉන්ද්රීන්ගේ ප්‍රතිචාර පිළිබදව අධ්‍යයනය කළ අතර තේජානි, චොකලට් මිල දී ගැනීම සදහා රසයේ බලපෑම සහ නදීෂා ඇසුරුම්කරණයේ බලපෑම පිළිබදව පර්යේෂණ සිදුකර තිබිණි. ඔවුන් දෙදෙනා සම කර්තෘත්වය දරමින් පළ කර ඇති විද්‍යාත්මක පර්යේෂණ ලිපි සංඛ්‍යාව හතකි. නදීෂා ගුණරත්න මේ වන විට අමෙරිකාවේ පදිංචිව සිටින අතර එරට ඇම්වේ නමැති ආයතනයේ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස සේවය කරයි.
මේ අතර, තේජානි ගුණරත්න ඕස්ට්‍රේලියාවේ CSIRO ජාතික විද්‍යා ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස සේවය කරයි. දෙදෙනාගේම අනාගත බලපොරොත්තු පිළිබඳව ඔවුන් දරන්නේ මෙවන් අදහසකි. ආචාර්ය තේජානි ගුණරත්න: “මම ද්විත්ව පුරවැසිභාවය තියෙන කෙනෙක්. ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. නමුත් අවුරුද්දට සැරයක් හරි ලංකාවට යනවා එනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එක්කත් අපි සමීප සම්බන්ධතා තියෙනවා. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොඩක් අපට කතා කරලා අහනවා කොහොම ද මෙහෙම අවස්ථා ගන්නේ කියලා. ඉතින් ඒ අයටත් උදව් කරගෙන ලංකාවට පුළුවන් උදව්වක් කරලා ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.”
ආචාර්ය නදීෂා ගුණරත්න: “මම ආචාර්ය උපාධියෙන් පස්සේ අමෙරිකාවට ගියා. මම එහෙදි විවාහ වුණා. ඒ නිසා මම දැන් අමෙරිකාවේ ස්ථිර පදිංචිකරුවෙක් විදිහට තමයි ඉන්නේ. ඒ වුණාට ඕස්ට්‍රේලියාවට ගොඩක් යැවෙනවා මගේ පවුලේ අනිත් අය ඉන්න නිසා. ඒ වගේම වෙලාවක් ලැබෙන හැම තිස්සෙම ලංකාවටත් ගිහිල්ලා සම්බන්ධතා සම විදිහට පවත්වාගෙන යනවා
කාන්තාවන් මුහුණ දෙන අභියෝග ජයගෙන ඉදිරියට යා යුත්තේ කෙසේ ද යන ප්‍රශ්නයට ඔවුන් දෙදෙනා දුන් පිළිතුර මෙසේ ය.”නගරබදව නම් ගොඩක් වෙලාවට කිසිම භේදයක් නැති තරම්. ඒත් පිටිසර ප්‍රදේශවල භේදයක් තියෙනවා, ගෑනු කෙනෙක් කියන්නේ ගෙදරට වෙලා ඉන්න ඕන කෙනෙක්, ඉගෙනීමක් අවශ්‍ය නෑ කියලා සමහරුන් අතර. මං හිතන්නෙ ඒක අනිවාර්යයෙන්ම වැරදි දෙයක්. ගැහැනියකටත් සමාන අයිතිවාසිකමක් තියෙනවා පිරිමියෙක් වගේම ඉගෙන ගන්න. කාන්තාවක් වශයෙන් ඔබ හිතනවා නම් තමන්ගේ රාජකාරිය ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න ඕන කියලා හිතනවා නම්, ඒක අනිවාර්යයෙන්ම වැරදියි. ඔබලාටත් ඒ වගේම අයිතිවාසිකමක් තියෙනවා. ඉතින් බය වෙන්නෙ නැතුව එඩිතරව තමන්ගේ අධ්‍යාපනයට තියෙන කැමැත්ත අධිෂ්ඨානය ඔස්සේ ඉදිරියට යන්න කියලා තමයි අපට අනිවාර්යයෙන්ම කියන්න තියෙන්නේ.”